අපරාධ රැසක් සිදුකර වසරක කාලයක් සැඟව සිටි සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවේ

මල්වතුහිරිපිටිය පොලිස් ස්ථානයේ රාත්‍රී අපරාධ නිවාරණ රාජකාරියේ නියුතු නිලධාරීන් 2024.10.16 වන දින අළුයම 5 ට පමණ එම වසමේ ගිණිගැස්ම මාර්ගයේදී ගෙවල් බිදීම් සහ කොල්ලකෑම් රැසකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එදින අළුයම 04.05 ට පමණ ගිණිගැස්ම හන්දියේ නිවසක් සොරුන් බිදින බවට පොලිස් ස්ථානය වෙත ලද දුරකථන පණිවුඩයක් අනුව ඒ පිළිබඳ සොයා බැලීම සඳහා රාත්‍රී අපරාධ නිවාරණ රාජකාරියේ යෙදී සිටි නිලධාරීන් තිදෙනෙකු එම නිවස වෙත ගොස් ඇත.

එහිදී සොරකමක් සිදුව ඇති බවට අනාවරණය වූ පසු වහා අවට මාර්ග සෝදිසි කර ඇති අතර එක් අතුරු පාරක යතුරුපැදියක් නවතා තිබෙනු දැක සැගව සිට පරීක්ෂාවෙන් සිට ඇති අතර ආසන්න කැලෑබඳ පෙදෙසක සිට පැමිණි සැකසහිත දෙදෙනෙකු යතුරුපැදියට ආසන්නවත්ම අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ.

එහිදී සුළු වේලාවක් පොරබැදීමක්ද සිදුවූවත් නිලධාරීන් සැකකරුවන් දෙදෙනා මෙල්ලකර පොලිස් ස්ථානය වෙත රැගෙන විත් විමර්ශන ආරම්භකර ඇත.

එක් සැකකරුවෙකු සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 11 කට ආසන්න ප්‍රමාණයක්, අනෙක් සැකකරු සන්තකයේ විදේශ රටක නිස්පාදිත ජීව අත්බෝම්බයක්, ගෙවල් බිදීමට උපයෝගී කරගන්නා උපකරණ තිබී ඇති අතර 2024.10.16 වන දිනය තුල සැකකරුවන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට ලක්කිරීමෙන් මොවුන් ප්‍රදේශයේ අපරාධ රැසකට වගකිවයුත්තන් බව අනාවර්ණය වී තිබේ.

2024.09.29 ලක්ෂ 10 කට අධික දේපල කොල්ලකා කාන්තාවකට ලිංගික අතවර සිදුකිරීම සහ 2023.04.01 වන දා සිට 2024.10.15 අතර කාලය තුල එවැනි බරපතල අපරාධ 14 ක් සිදුකිරීම මේ වන විට මොවුන් සම්බන්ධයෙන් හෙලිදරව් වී ඇත.

මල්වතුහිරිපිටිය පොලිස් ස්ථානය විසින් කැළණිය ප්‍රදේශයේ තාවකාලික පදිංචි මෙම සැකකරුවන් දෙදෙනා 2024.10.17 වන දින ගම්පහ ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්කර රැදවුම් නියෝග ලබාගෙන වැඩදුර විමර්ශන සිදුකරමින් පවතී.