මාදම්පිටිය කනත්ත ඉදිරිපිට පුද්ගල ඝාතනයේ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මාදම්පිටිය කනත්ත ඉදිරිපිටදී 2024.10.16 වන දින ත්‍රීරෝද රථයක සිටි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලිසිය ගෙන යන පුළුල් විමර්ශනය මත ඝාතනයට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරුවන් මෙම වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ මරණකරු සමඟ ත්‍රීරෝද රථයේ සිටි අනෙක් පුද්ගලයින් දෙදෙනා වන අතර, මොවුන් විසින් ඝාතනයට ලක්වූ පුද්ගලයා නිවසේ සිට වෙඩිතැබීම සිදු වූ ස්ථානයට ත්‍රීරෝද රථයෙන් රැගෙන ගොස් ඇති බවත්, ඝාතකයා සමඟ දුරකථනයෙන් සම්බන්ධ වී කාර් රථයකින් ඝාතකයා පැමිණෙන තෙක් ඝාතනයට ලක්වූ පුද්ගලයා රඳවාගෙන සිට අපරාධයට අනුබල දී ඇති බව දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 45 හා 50 වයස්වල පසුවන කොළඹ 10 හා කොළඹ 15 ප්‍රදේශවල පදිංචිකරුවන්ය.
ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.