අල්ලස් මුදලක් ලබා දීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

“රුපියල් ලක්ෂයක මුදලක් මාසිකව ලබාදෙන්නම් ඔබගේ පොලිස් බල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම් බාදාවකින් තොරව සිදුකිරීම සඳහා අවස්ථාව සලසාදෙන්න”

එලෙස පවසමින් මට්ටක්කුලිය පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපතිවරයාට එම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගෙන් දුරකථන ඇමතුමක් ලැබී තිබෙන්නේ රු 50000 ක මුදලක් හැකි විගස ලබාදෙන බවද සඳහන් කරමින්ය.

ස්ථානාධිපතිවරයා මෙම දුරකථන ඇමතුම සම්බන්ධව වහාම කොළඹ උතුර කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා දැනුවත්කිරීමට පියවර ගෙන ඇති අතර ඒ අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත්කර සැකකරු අත්අඩංගුවටට ගැනීමට සැලසුම් සකස්කර තිබේ.

සැකකරු හට පොරොන්දු වූ පරිදි රුපියල් 50000/= ක මුදලක් ලබාදෙන ලෙස පවසා උපාය මාර්ගිකව මට්ටක්කුලිය පොලිස් ස්ථානයේ දූෂණ මර්ධන අංශය වෙත ගෙන්වාගත් විමර්ශන නිලධාරීන් අදාල මුදල සමඟ සැකකරු මට්ටක්කුලිය පොලිස් ස්ථානයේදී අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
සැකකරු වයස අවුරුදු 50 ක් වන මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.