ශ්‍රී ලංකා පොලිසිය පිරිස් බලයෙන් ශක්තිමත් වූ තවත් දිනයක්

අප මාතෘ භූමියේ වෙසෙන මිලියන 20 ක පමණ පුරවැසියන්ගේ ආරක්ෂාව, බියෙන් සැකෙන් ජීවත්වීමට හැකි පරිසරය මෙන්ම එදිනෙදා ජීවිතයට අවශ්‍ය නියම වූ විවිධ වූ සේවා දිවා රැය නොබලා සැලසීමට දිවිහිමියෙන් දිවුරුම් දී කැපවන, ඔබ අතරින්ම තෝරාගත් සුදුසුකම් ලද ශ්‍රී ලංකා පොලිස් සේවයේ නියුතු අභිමානවත් නිලධාරී පිරිසට 2024.10.14 වන ඊයේ දින වසරකට ආසන්න කාලයක් නීතිය, අවි පුහුණුව ඇතුලු ප්‍රායෝගික පොලිස් විධි පිළිබඳව මනා පුහුණුවක් ලබූ ආධුනික උප පොලිස් පරික්ෂකවරුන් 116 දෙනෙකු සහ පොලිස් කොස්තාපල්වරුන් 1169 දෙනෙකු එක්විය.

විසිරයාමේ උත්සවය කළුතර පොලිස් විද්‍යාලයේ අළුවිහාර ක්‍රීඩාංගණයේදී ගරු මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන්, මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති(විශ්‍රාමික) රවී සෙනෙවිරත්න මහතාගේ සහ වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සහභාගීත්වයෙන් පස්වරු 03.00 ට පමණ ආරම්භ වූ අතර වැසිබර කාලගුණය මධ්‍යයේ වුවද අළුවිහාර පිටිය මධ්‍යට පිවිසි ආධුනික පොලිස් නිලධරයන්ගේ පුහුණුවෙන් පසු විසිරයාමේ අවස්ථාවට ඇතුලත් අවිසරඹ උත්තමාචාර පෙළපාලි සුපුරුදු පරිදි සියලු දෙනාගේ නෙත් සිත් ඇද බැද ගත් දසුනක් විය.

සම්මාන පෙලපාලියෙන් අනතුරුව පුහුණුව අතරතුර ආධුනික නිලධාරීන් දැක්වූ දසකම් සඳහා සම්මාන සහ සහතික පත් පිරිනැමීමේ අවස්ථාව උදාවූ අතර එහිදී අති දක්ෂතම ආධුනික උප පොලිස් පරීක්ෂකවරයා ලෙස හිටිහාමිලාගේ ලහිරු ලක්මාල් උඩත්තව, නීතිය පිළිබඳව දක්ෂතම ආධුනික උප පොලිස් පරීක්ෂකවරයා ලෙස රාමනායක මුදියන්සේලාගේ තාරක නුවන් සංජීව, දක්ෂතම වෙඩික්කරු ලෙස ආධුනික උප පොලිස් පරීක්ෂක මුණසිංහ ආරච්චිගේ තරිදු සඳරුවන් යන නිලධාරීන් සම්මාන සහ සහතිකපත් ලබාගන්නා ලදී.

අති දක්ෂතම පොලිස් කොස්තාපල්වරයා ලෙස හබරගමු රාලලාගේ සෙහාන් ගීත්මාල් පීරිස්, නීතිය පිළිබඳව දක්ෂතම ආධුනික පොලිස් කොස්තාපල්වරයා ලෙස මැණික් මුුදියන්සේලාගේ තරිදු දීපාල් නුවන් කුමාර, දක්ෂතම වෙඩික්කරු ලෙස ආධුනික පොලිස් කොස්තාපල් සුදුසිංහ සවිදු නිම්සර යන අධුනික නිලධාරීන් සම්මාන සහ සහතික පත්‍ර ලබාගත්හ.

මෙම සියලු අවස්ථාවන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය SRI LANKA POICE නිල FACEBOOK පිටුව හරහා සජීවීව විකාශය කළ අතර පොලිස් බටහිර තූර්ය වාදන කණ්ඩායම සහ පොලිස් සංස්කෘතික කොට්ඨාසය අතුලු පොලිස් කොට්ඨාස රැසක දායකත්වයෙන්, පුහුණුව හා උසස් පුහුණුව දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා ඇතුලු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් රැසකගේ සහ විසිර යන ආධුනික නිලධාරීන්ගේ දෙමව්පියන්ගේද සහභාගීත්වයෙන් උළෙල වර්ණවත් විය.