“විශ්‍රාම දිවියට පා තැබූ නියෝජ්‍ය පොලිස්පති කපිල කටුපිටිය මහත්මා”

වසර 38 ක් සපිරුනු තම පොලිස් රාජකාරි දිවියට ගෞරවාන්විත සමුදී විශ්‍රාම ලබා සේවයෙන් නික්මයන කොළඔ උතුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කපිල කටුපිටිය මහතා වෙනුවෙන් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වූ කෙටි උත්සව අවස්ථාවක් 2024.10.14 වන දින උදෑසන නව පොලිස් මූලස්ථාන ප්‍රධාන සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුනි.

වර්ෂ 1986 අගෝස්තු මස පළමුවන දා ආධුනික උප පොලිස් පරීක්ෂක නිලධාරියෙකු ලෙස කළුතර පොලිස් විද්‍යාලයෙන් ශ්‍රී ලංකා පොලිසියේ අභිමානවත් සේවයට එක්වූ නියෝජ්‍ය පොලිස්පති කටුපිටිය මහතා මීරිගම ප්‍රදේශයේ උපත ලද්දෙකි. වෘත්තියෙන් එම මහතාගේ පියාද පොලිස් සේවයේ නියැලුනු විශ්‍රාමික මහත්මයෙකි.

එම පන්නරයද පෙරදැරිව උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස සේවය ආරම්භකර නියෝජ්‍ය පොලිස්පති නිලය කරා එළඹුනු ගමන් මගෙහි කලක් පොලිස් විශේෂකාර්ය බලකා නිලධාරියෙකු ලෙසද නැගෙනහිර පළාතේ රුදුරු ත්‍රස්තවාදයට එරෙහිව යුධ බිමෙහි දැවැන්ත කාර්යය භාරයක් ඉටුකල නිලධාරියෙකු වන අතර පොලිස් කොට්ඨාස රැසක සාඩම්බර සේවයක් ඉටුකර ඇති කීර්තිමත් නිලධාරී මහත්මයෙකු ලෙස සුප්‍රසිද්ධය.

දිවි හිමියෙන් වසර 38 කට අධික කාලයක් ඉටුකල අනුපමේය මෙහෙවර සිහිපත්කරමින් සුහඳ පිළිසඳරක් ලෙස පැවැත්වුනු මෙම කෙටි උත්සව අවස්ථාවේදී වැඩබලන පොලිස්පතිතුමා ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් නියෝජ්‍ය පොලිස්පති කටුපිටිය මහතාගේ පොලිස් සේවයට කෘතගුණ දක්වමින් විශ්‍රාම දිවියට සුබ පැතුම් පුදකර උත්සව අවස්ථාව ගෞරවනීයව නිමාකලහ.

පොලිස් නිලධාරීන් වන අප සැවොම විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති කටුපිටිය නිලධාරී මහත්මා හට අනාගතයේදී යහපත්, සෞඛ්‍ය සම්පන්න සහ සතුටින් පිරුණු ජීවිතයක් ප්‍රාර්ථනා කරන්නෙමු !