“2024 ලේටන් කුසලාන බොක්සිං තරගාවලියේදී පොලිසියට පදක්කම් 13 ක්”

ශ්‍රී ලංකා බොක්සිං සංගමය විසින් 82 වන වරට සංවිධානය කළ “ලේට්න් කප් “බොක්සිං තරගාවලිය බොක්සිං සම්මේලනයේ උප සභාපති, පොලිස් බොක්සිං සංගමයේ සභාපති නියෝජ්‍ය පොලිස්පති ජගත් සේරම් මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ 2024.10.01,02,03,04 සහ 05 යන දිනයන්හිදී අති සාර්ථකව පැවැත්විනි.

මෙහි මූලික තරඟ පළමු දින දින 03 තුල කොළඹ රාජකීය විද්‍යාලයේ MAS පිටියේදී පැවැත්වූ අතර අවසන් තරඟ ඉතිහාසයේ පළමු වරට මීගමුව වෙරළ තීරයේදී පැවැත්වීය.

තරඟාවලියේ ජය සොයා උද්වේගකර සටන් විදහා පෑ දිවයින පුරා පිහිටුවා ඇති ක්‍රීඩා සංගම් නියෝජනය කරමින් පැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවන් 144 දෙනෙකු අතරින් පොලිස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනෙකු මෙවර විවිධ බර පන්ති යටතේ මුල් පෙළ ජයග්‍රහණ අත්කර ගැනීමට සමත් වූයේ රන් පදක්කම් 03 ක්, රිදී පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කම් 05 ක් ශ්‍රී ලංකා පොලිසියේ කෙළි බිම දස්කම් ගොනුවට එක් කරමින්ය.

තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට (Best boxer) හිමි කුසලානය කිලෝ ග්‍රෑම් 48 බර පන්තිය යටතේ ශ්‍රී ලංකා පොලිසිය වෙනුවෙන් තරඟ කළ ජිනදාස ක්‍රීඩකයා හිමිකරගැනීමට සමත්වීමද කැපී පෙනුනු අවස්ථාවක් විය.

ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ සභාපති අනුරුද්ධ ශානක බණ්ඩාර මහතා ප්‍රකාශකරන පරිදි ජාතික බොක්සිං සංචිතයට බොක්සිං ක්‍රීඩකයන් තෝරා ගැනීමට 2024 ලේටන් කුසලානය තීරණාත්මක තරඟාවලියක් වී තිබේ.

අවසන් තරඟ අති සාර්ථකව පැවැත්වීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කළ මීගමුව පොලස් කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතා, ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ සභාපති අනුරුද්ධ ශානක බණ්ඩාර මහතා ඇතුලු බොක්සිං සංගමයේ නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් රැසක් අවසන් තරඟ නැරඹීම සඳහාද මීගමුව වෙරළ තීරයට එක්වී සිටියහ.