කල්කුඩා නව පොලිස් ස්ථානය ජනතා අයිතියට

ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන මඩකලපුව දිස්ත්‍රික්කයේ කල්කුඩා නගරයට 2024.10.05 වන දින උදෑසන සපැමිණි වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පොලිස් නිළධාරීන්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ සුභ සිද්ධිය උදෙසා රුපියල් මිලියන 20 ක වියදමෙන් සියළු යටිතල පහසුකම් සහිතව ඉදිකළ නව පොලිස් ස්ථානය පොලිස් උත්තමාචාර මධ්‍යයේ සුබ මහොතින් විවෘත කරන ලදී.

ප්‍රමාණවත් ඉඩ පහසුකම් නොමැතිව විවිධ දුෂ්කරතාවයන් සහ අභියෝග මධ්‍යයේ සංචාරකයින්ට මෙන්ම ප්‍රදේශවාසීන්ට ඉමහත් සේවාවක් ඉටුකරමින් පවත්වාගෙන යමින් තිබූ කල්කුඩා පොලිස් ස්ථානයට මෙතැන් සිට නව මුහුණුවරකින් ඉහල ගුණාත්මකව බවකින් යුත් පොලිස් සේවාවක් සැලසිය හැකි වනු ඇත.

පොලිස්පතිතුමන් සමඟ නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා, මඩකලපුව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජගත් විශාන්ත මහතා, ත්‍රිකුණාමලය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ධම්මික වීරසේකර මහතා , අම්පාර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දමයන්ත විජය ශ්‍රී මහතා, මඩකලපුව පොලිස් කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අමල් එදිරිමාන්න මහතා, ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධරයන්, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම අවස්ථාව සඳහා සහභාගී විය.

උත්සව අවස්ථාවෙන් පසුව මඩකලපුව දිසාවේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් මෙන්ම පොලිස් ස්ථානාධිපතිවරුන් සමඟ සාකච්ඡාවක නිරත වූ පොලිස්පතිතුමන් මඩකලපුව පොලිස් කොට්ඨාසය තුල සාමය ආරක්ෂාකිරීම සඳහා ක්‍රියාත්මක ආරක්ෂක වැඩපිලිවෙල සඳහා අවශ්‍ය උපදෙස් හා නියෝග ලබාදෙන ලදී.