මන්නාරම ගරු මහාධිකරණ විනිසුරුතුමාට අපහාස වන අයුරින් දැන්වීම් ප්‍රදර්ශනය කර තිබීම සම්බන්ධයෙන් ආරම්භකල විමර්ශනයේ ප්‍රගතිය

මන්නාරම ගරු මහාධිකරණ විනිසුරුතුමාගේ ඡායාරූපය දැක්වෙන දැන්වීම් ( පෝස්ටර් ) ඒ මහතාට අපහාස සිදුවන අයුරින් 2024.08.28 වන දින කොළඹ තදාසන්න ප්‍රදේශයන්හි අලවා ප්‍රදර්ශනය කළ සැකකරුවන් තිදෙනෙකු දැන්වීම් ඇලවීම සඳහා යොදාගත් ත්‍රී රෝද රථයක් හා යතුරු පැදියක් සමඟ 2024.09.11 වන දින කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්හ.

සැකකරුවන් වයස අවුරුදු 22, 23 හා 44 වයස් වල පසුවන මඩපාත, මාතලේ හා පන්නිපිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර 2024.09.12 වන දින කොළඹ ගරු ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

විමර්ශන අතරතුර ලද තොරතුරු අනුව මීට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් 2024.10.02 වන දින දහවල් කැලණිය හා දෙහිවල ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සන්තකයේ තිබූ ජංගම දුරකථන තුනක් පොලිසිය භාරයට ගෙන පරීක්ෂණ ආරම්භ කර තිබේ.

එම සැකකරුවන් වයස අවුරුදු 27 හා 41 වයස් වල පසුවන අඹකොටේ සහ දෙහිවල ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

මෙම සැකකරුවන් දෙදෙනා පෝස්ටර් නිර්මාණය කිරීම, මුද්‍රණය කිරීම හා සන්තකයේ තබාගැනීම සිදුකර ඇති බවට විමර්ශනයේදි අනාවරණය වී ඇත. සැකකරුවන් දෙදෙනා 2024.10.03 වන අද දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.