බරපතල ලිංගික අපයෝජන සිදුකළ සැකකරුවෙකු අත්අඩංගුවේ

මහනුවර මුරුතලාව ප්‍රදේශයේ බාලවයස්කාර ළමුන් පස් දෙනෙකු හට ලිංගික අතවරකිරීම් සිදුකර ඇති බවට අනාවරණය වී ඇති තොරතුරු මත එම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 65 ක් වන පුද්ගලයෙකු මහනුවර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශය විසින් 2024.10.01 වන දින අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පුද්ගලයා මුරුතලාව ප්‍රදේශයේ ඔහුගේ පදිංචි නවාතැන ආසන්නයේදී වයස අවුරුදු 12 ක ළමයෙකු ලුහුබැඳ අල්ලාගෙන බලහත්කාරයෙන් නවාතැන තුලට රැගෙන යාමට උත්සාහකිරීමේදී ළමයා ඔහුගේ අත සපා කා බේරී දිවගොස් දින දෙකකින් පසු තමන් මුහුණදුන් කටුක අත්දැකීම මවට ප්‍රකාශ කර තිබේ.

එම සිදුවීම හරහා මහනුවර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශයට මුරුතලාව ප්‍රදේශයේ දරුවන් පස් දෙනෙකුට අදාළ සැකකරුගෙන් සිදුවී ඇති බරපතල ලිංගික අපයෝජන හෙළි වී ඇත.

කුකුළුගොවිපලක් පවත්වාගෙන යන මෙම සැකකරු 2024 අප්‍රේල් මස සිංහල අවුරුදු දිනයට ආසන්න දිනයකදී කෙසෙල් පැළයක් සොයා සැරිසැරූ වයස අවුරුදු 12 ක් හා 13 ක් වන ළමුන් දෙදෙනෙකු තම ගොවිපළට කැඳවාගෙන පැමිණ උපාය මාර්ගිකව එක් ළමයෙකු තනිකරගෙන බරපතල ලිංගක අපයෝජන සිදුකර මුදල් ලබාදී මුදාහැර ඇති අතර අනෙක් ළමයා පැමිණි පසු එම ළමයාද රැගෙන ගොස් ඔහුගේ නවාතැන තුලදී බරපතල ලිංගික අපයෝජනය සිදුකර මුදල් ලබා දී මුදාහැර තිබේ.

එලෙසම තවත් වයස අවුරුදු 14 ක ළමයෙකු සැකකරුගේ බරපතල ලිංගික අපයෝජනයකට මුහුණ දී තිබෙන්නේ 2022 වර්ෂයේ නොවැම්බර් මස නැතිවූ තම සරුංගලය සොයා සැකකරුගේ නවාතැන ආසන්නයේ සැරිසරමින් සිටියදීය.
සරුංගලයක් ලබාදෙන බව පවසා උපක්‍රමිකව නවාතැන තුලට රැගෙන ගොස් බරපතල ලිංගික අපායෝජනය සිදුකර මුදල් ලබාදී එම ළමයාවද මුදාහැර ඇත.

මෙසේ වයස අවුරුදු 08 ක ළමයෙක්ද අනාරක්ෂිතව ප්‍රදේශයේ වෙළඳසැලක් අසල ක්‍රීඩා කරමින් සිටියදී සැකකරු විසින් රැගෙන ගොස් නවාතැන තුලදී බරපතල ලිංගික අපයෝජනයට ලක් කර ඇති අතර අවස්ථා කිහිපයකදී එම දරුවාව බරපතල ලිංගික අපයෝජනයට ලක්කිරීමට සැකකරු ක්‍රියාකර ඇත.

“මෙවැනි සිදුවීම් මගින් ඇතැම් දරුවන් බරපතල අපයෝජනයන්ට ලක්ව නොදැනුවත්කමට හෝ බිය හේතුකොටගෙන කිසිවෙකුට නොකියා සඟවාගෙන, ඇතැම් විට සැලකිය යුතු කාලයක් ගත වූ පසු අනාවරණය කරන බව වටහාගත හැක. දෙමව්පියන් වන ඔබගේ වගකීම ඔබේ දරුවන් පිළිබඳව දැඩි විමසිල්ලෙන් දරුවන්ට සමීපව දරුවන්ගේ සුලු වෙනස්කමක් පවා වටහාගෙන වෙනස්කමට හේතුව උපක්‍රමිකව අසා දැනගෙන වහාම තවත් දරුවෙකුට මෙවන් අපරාධයක් සිදුනොවීමට ළගම ඇති පොලිසිය දැනුවත් කිරීමය.

දෙමව්පියන්ගේ නොසැලකිල්ල හේතුවෙන් මෙවැනි අපරාධයන්ට ලක්වන බොහෝ ළමුන්ට ඇතිවන මානසික ව්‍යාකූලත්වය ඉතා අයහපත් තත්වයක් වන බැවින් ළමුන්ව සමීපව රැකබලා ගැනීමට දැනුවත්කමින් යුත් වැඩිහිටි ඔබ වඩාත් සැලකිලිමත්වන මෙන් ඉල්ලා සිටින්නෙමු.”