ගවයින් සොරකමක සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

පූගොඩ පොලිස් වසමෙන් සොරකමට ලක් වී ඇති ලක්ෂ 25 කට අධික වටිනාකමින් යුත් ගවයින් සය දෙනෙකු සොයා පූගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් 2024.09.19 වන දින සිට දීර්ඝ විමර්ශනයක් සිදු කර දින තුනක් ඇතුලත, එනම් 2024.09.19 වන දින පානදුර උතුර පොලිස් වසමේ ගව ගාලක සිටියදී ගවයින් සය දෙනා සොයාගෙන පොලිස් භාරයට ගෙන තිබේ.

ගවයින් සොයාගත්තද සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට එදින නොහැකි වී ඇති බැවින් සියුම් හෝඩුවාවන් පසුපස හඹාගොස් සති දෙකක පමණ කාලයකින් අනතුරව ලද තොරතුරකට අනුව 2024.09.29 වන දින රාත්‍රියේ නිලධාරීන් කණ්ඩායම පානදුර තොටුපල පාර ප්‍රදේශයේ පාළු ඉඩමක රැදී සිට ඇත.

තොරතුර තහවුරු කරමින් කැබ් රථයක් සහ ලොරි රථයක් එම ස්ථානයට පැමිණ ඇති අතර කැබ් රථයෙන් බැසගත් පුද්ගලයින් 05 දෙනෙකු ලොරි රථයේ පිටුපසින් එක් ගවයෙකු බිමට ගැනීමේදී නිලධාරීන් වහා ක්‍රියාත්මක සැකකරුවන් වටලා අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කර තිබේ.
එහිදී සැකකරුවන් පොලිස් නිලධාරීන් සමඟ පොරබදා පැන යාමට උත්සාහකිරීමේදී පොලිස් නිලධාරියෙකු භාරයේ තිබූ T-56 ගිනි අවිය ක්‍රියාත්මක වී එක් සැකකරුවෙකුට සුලු තුවාල සිදුවී ඇත.

ලොරි රථයේ සිටි සැකකරුවන් දෙදෙනෙකු පලා ගොස් ඇති අතර තුවාල ලත් සැකකරුවන් තිදෙනෙකු කැබ් රථය සහ ලොරි රථය සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

තුවාල ලත් සැකකරු පොලිස් අත්අඩංගුව යටතේ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි. මෙම ජාවාරමට සම්බන්ධ අයවලුන් සහ පලාගිය සැකකරුවන් සොයා විමර්ශන ක්‍රියාත්මකය.