මාලිගාවත්ත පොලිස් වසමේ පාසල් 4 ක සිසුන් 200 ක් උදෙසා මාලිගාවත්ත පොලිස් ස්ථානයෙන් ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයක්

158 වන පොලිස් දින සංවත්සරය නිමිත්තෙන් කොළඹ මධ්‍යම සහකාර පොලිස් අධිකාරී 3 චානක අබේසිරිගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මාලිගාවත්ත පොලිස් ස්ථානය සංවිධානය කළ විශේෂ ශිෂ්‍යත්ව පෙරහුරු සම්මන්ත්‍රණයක් මාලිගාවත්ත පොලිස් වසමට අයත් රාජසිංහ විදුහල , දරුසලාම් විදුහල , බාරොන් ජයතිලක විදුහල හා හේමමාලී බාලිකා යන විදුහල් තුල ඉගෙනුම ලබන දරු දැරියන් උදෙසා මාලිගාවත්ත light grand ශාලාවේදී 2024.09.09 වන දිනය පුරා පැවැත්වීය.

නොබෝ දිනකින් පැවැත්වෙන පහ වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා එම විද්‍යාල මගින් පෙනී සිටීමට නියමිත 200 ක පමණ සිසු පිරිසක් ඉලක්ක කර පැවැත්වූ මෙම සම්මන්ත්‍රණය සඳහා ප්‍රවීන දේශක ආචාර්ය ක්‍රිශාන්ත අබේරත්න මහතා සහභාගීකර සාර්ථක වැඩසටහනක් දරු දැරියන් වෙත ලබාදීමට මාලිගාවත්ත පොලිස් ස්ථානය කටයුතු සම්පාදනය කර තිබුනි.

එහිදී දරුවන් සදහා අධ්‍යාපනික මෙන්ම මානසික සුවය සඳහා ක්‍රියාකාරකම් මෙහෙයවනු ලැබූ අතර ත්‍යාග , ආහාර පාන ලබාදෙමින් විනෝද වීමට නොයෙක් ක්‍රම සංවිධානය කර අවස්ථාව සැලසීය.

සම්මන්ත්‍රණය පැවැත්වෙන අතරතුර ඊට යාබද ශාලාවක දරුවන්ගේ භාරකරුවන් උදෙසා ළමා අපචාර වලක්වා ගැනීම සහ රථවාහන නීතිය පිළිබඳව දේශනයන් පවත්වමින් මාලිගාවත්ත පොලිස් ස්ථානයේ නිලධාරීන් එම ප්‍රදේශයේ ජනතාවගේ නීතිමය දැනුම තවදුරටත් වර්ධනය කිරීමට ගත් උත්සහයද සැමගේ ප්‍රශංසාවට බඳුන් විය.

ලංකා බැංකුව විසින් සියලු කටයුතු සඳහා මූල්‍ය අනුග්‍රහය ලබාදෙමින් දායකත්වය දක්වන ලදී.