158 වන පොලිස් සංවත්සරයට වැඩිහිටියන් සැනසූ ප්‍රජා පොලිස් කොට්ඨාසය සහ පරිසර කොට්ඨාසය

ජීවිතයේ සැදෑ සමය බොරැල්ල ලංකාරාම විහාරස්ථානයේ පවත්වාගෙන යනු ලබන වැඩිහිටි නිවාසය තුල ගතකරමින් සිටින ජ්‍යෙෂ්ඨ පුරවැසියන් පිරිසකගේ සුව දුක් විමසීම සඳහා ප්‍රජා පොලිස් සහ පරිසර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජගත් සේරම් මහතා ප්‍රජා පොලිස් කොට්ඨාසයේ නිලධරයන් සහ පොලිස් පරිසර කොට්ඨාසයේ නිලධරයන් සමඟ 2024.09.03 වන දින උදෑසන එම වැඩිහිටි නිවාසය වෙත ගොස් ඇත්තේ සූදානම්කරගත් දිවාආහාර සහ ත්‍යාගද රැගෙනය.

එදිනට යෙදුනු 158 වන පොලිස් දින සංවත්සරයට සමගාමීව මෙම පිං කටයුත්ත සංවිධානය කර ඇති අතර වැඩිහිටියන් සෙනෙහසින් රැකබලා ගැනීම බාල පරම්පරාවට හුරු පුරුදු කිරීම අරමුණුකරගනිමින් ප්‍රජා පොලිස් කොට්ඨාසයෙන් පවත්වාගෙන යනු ලබන ලක්විරු පෙර පාසලේ දරු දැරියන්ද මෙම අවස්ථාවට සහභාගී කර තිබීම සතුටට කරුණකි.

මෙම අවස්ථාව සඳහා ප්‍රජා පොලිස් සහ පරිසර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජගත් සේරම් මහතා සමඟ ප්‍රජා පොලිස් කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ඩි.කේ ප්‍රියන්ත මහතා, පොලිස් පරිසර කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් පෙරේරා මහතා, ප්‍රජා පොලිස් කොට්ඨාසයේ ස්ථානාධිපති මනෝජ් සමරසේකර මහතා, පොලිස් පරිසර කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍රෙස්න මහතා සහභාගී විය.