විමර්ශන සදහා ජාත්‍යන්තර සහය ලබාගන්නා අයුරු දැක්වූ පාඨමාලාවක නිමාව

අතුරුදහන් වූ සහ ප්‍රධාන වශයෙන් අන්තර්ජාලය හරහා සූරාකෑමට ලක්වූ ළමුන් සඳහා වන ජාතික මධ්‍යස්ථානය (NCMEC) සහ International Justice Mission ආයතනය එක්ව ළමුන් සම්බන්ධව වාර්ථා වන අපරාධ විමර්ශනය සිදුකලයුතු ආකාරය පිළිබඳ දැනුවත් කෙරෙන පුහුණු පාඨමාලාවක් 2024.07.22 වන දින සිට 2024.07.27 වන දින දක්වා කටාන ජාතික පොලිස් අභ්‍යාස ආයතනයේදී පැවැත්වීය.

කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශ වලට අනුයුක්ත නිලධරයන් 15 දෙනෙකුට මෙම පාඨමාලාව හැදෑරීමට අවස්ථාව හිමිවූ අතර, 2024.07.26 වන ඊයේ දින සවස ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් කටාන ජාතික පොලිස් අභ්‍යාස විද්‍යාලයේදී කෙටි උත්සව අවස්ථාවක් පවත්වා පාඨමාලාව නිමාකෙරුනි.

NCMEC ආයතනය විසින් ආසියාතිකරයේ සේවා සපයන ආයතන 140කට අධික ප්‍රමාණයක් හරහා රටවල් 150 ක් තුල ජීවත්වන ළමුන් අන්තර්ජාලය ඔස්සේ ලිංගිකව සූරාකෑමට ලක්වීම හා ළමුන්ගේ අසභ්‍ය දර්ශන පල කිරීම සම්බන්ධයෙන් වාර්තාවන අපරාධ විමර්ශනය සදහා අදාල රටවල් වල ක්‍රියාත්මක අපරාද විමර්ශන අංශ සදහා තොරතුරු ලබා දීම සිදු කරමින් පවතී.

ඒ අනුව ශ්‍රී ලංකාව සඳහාද තොරතුරු ලබා දීම සඳහා NCMEC ආයතනය ශ්‍රී ලංකා පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ නිලධාරීන් වෙත මෙම පුහුණු පාඨමාලාව ලබාදීම ආරම්භ කෙරිණි.

පාඨමාලාව තුලින් ප්‍රධාන වශයෙන් ළමුන් ඇතුලත් අසභ්‍ය වීඩියෝ දර්ශන නිෂ්පාදනය කරන, බෙදාහරින සහ අන්තර්ජාලයට උඩුගතකිරීම සිදුකරන, එම දර්ශන නරඹන පුද්ගලයන් පිළීබඳව තොරතුරු ලබාගෙන විමර්ශන කටයුතු සිදු කරන්නා වූ ආකාරය පිළිබදව අවශ්‍ය උපදෙස් ලබා දීම සිදු කර තිබේ..

මේ සදහා META ආයතනය නියෝජනය  කරමින් නියෝජිතයින් 08 දෙනෙකු හා නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඡවරු දෙදෙනකු සම්පත් දායකයින් ලෙස පාඨමාලාව මෙහෙයවීම සදහා සහභාගී වී ඇත.