විදෙස් රැකියා ආයතනයෙන් ලබාදී ඇති බලපත්‍ර සියල්ල ව්‍යාජ බලපත්‍ර

විදෙස් රැකියාවක් සොයාගැනීමේ අරමුණින් සමාජ මාධ්‍යයේ පළ වූ දැන්වීමකට ප්‍රතිචාර දැක්වූ කලුවංචිකුඩි උතුර ප්‍රදේශයේ පදිංචි වයස අවරුදු 26ක තරුණයෙකු ලැබුනු කැදවීම පරිදි දැන්වීම පළකල කුරුණෑගල ප්‍රදේශයේ පිහිටා ඇති ආයතනය වෙත 2023.10.03 වන දින ගොස් තිබේ.

එහිදී ආයතනයේ පෙනී සිටි පුද්ගලයා තවත් පුද්ගලයෙකු හඳුන්වා දී ඇති අතර. එම පුද්ගලයා විසින් මෙම තරුණයා හට සයිප්‍රස් රටේ විදේශ රැකියාවක් ලබාදිය හැකි බවත් ඒ සඳහා රුපියල් ලක්ෂ 5 කට අධික මුදලක් ලබාදිය යුතු බවත් ඉදිරි මුදල බැංකු ණයක් මගින් පියවීමේ හැකියාව ඇති බවත් පවසා ඇත.

ඒ අනුව තරුණයා අවස්ථා 7 කදී තමාට ලබාදුන් බැංකු ගිණුම් 4 කට මුදල් තැන්පත්කර ඇති අතර ලක්ෂ 5 කට අධික මුදල තැන්පත් කල පසු අදාල ආයතනයෙන් මැලේසියාව වෙත යාමට වීසා බලපත්‍රයක්, රැකියාවේ නිරත වීමට අවශ්‍ය බලපත්‍රයක්, ගුවන් ගමන් බල පත්‍රයක් ලබාගෙන තිබේ.
ලද සියළු බලපත්‍ර සමඟ 2024.02.12 වන දින විදෙස්ගතවීමට කටුනායක ගුවන් තොටුපල වෙත ගොස් ඇති තරුණයා හට ගුවන්තොටුපල බලධාරීන් පවසා ඇත්තේ ඔහු සතු සියළු ලියකියවිලි ව්‍යාජ ඒවා බවත් විදෙස් ගත වීමට අවසර දිය නොහැකි බවත්ය.

එතැන් සිට 2024.07.12 වන දින දක්වා අවස්ථා කිහිපයකදී තමාට ව්‍යාජ බලපත්‍ර ලබාදුන් අය දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට ගත් උත්සහයන් ව්‍යාර්ථ වූ බැවින් තරුණයා කලවංචිකුඩි පොලිසිය වෙත තමාට සිදුවූ මුදල් වංචාව පිළිබදව පැමිණිල්ලක් සිදුකර ඇත.
සැකකරුවන් අනාවරණය කරගැනීම සඳහා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.