රුපියල් කෝටියක කප්පම් මුදලක් සඳහා පැහැරගත් පුද්ගලයා සොයාගෙන

රුපියල් කෝටියක කප්පම් මුදලක් ලබාගැනීම සඳහා පැහැර ගෙන ගොස් නාරම්මල පොලිස් වසමේ මැදගොඩ වැවපාර ඉහල රන්මුතුගල ප්‍රදේශයේ පාළු නිවසක රදවා සඟවා තබාගෙන සිටි පුද්ගලයක්ව පොලිස් විශේෂ කාර්ය බලකා කුරුණෑගල කඳවුරේ නිලධාරීන් 2024.07.17 වන දින ඊයේ දින සොයාගෙන නිරුපද්‍රිතව මුදවාගෙන, පැහැරගැනීම සිදුකර ඇති සැකකරුවන් සිව්දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබේ.

කුවේට් රාජ්‍යයේ සේවය කරමින් සිට මෙරටට පැමිණි ඇති පැහැරගැනීමට ලක්වූ පුද්ගලයා එහිදී සේවය කළ ස්ථානයේ සිටි පුද්ගලයකුගේ සැලසුමකට අනුව මෙරට පුද්ගලයින් සිව් දෙනෙකු විසින් මෙම පැහැරගැනීම සිදුකර ඇති බවට මේ වන විට තොරතුරු අනාවාරණය වී ඇත.

පැහැරගැනීමට ලක්වීම සිදුව ඇත්තේ ගුවන්තොටුපලේ සිට මාතලේ ප්‍රදේශයට කුලී රථයකින් ගමන් ගනිමින් සිටියදී මාවතගම පොලිස් වසමේ බරන්දන හංදිය ආසන්නයේදීය. පැහැරගැනීම සම්බන්ධව මාවතගම පොලිසිය වෙත පැමිණිල්ලක්ද ලැබී ඇති අතර ඒ අනුව පොලිස් විශේෂ කාර්යය බලකාය අපරාධකරුවන් සොයා දියත්කළ මෙහෙයුම මෙසේ සාර්ථක වී තිබේ.

සැකකරුවන් නාරම්මල සහ කටුපොත ප්‍රදේශයන්හි පදිංචි වයස අවුරුදු 31 ත් 39 අතර වන අයවළුන්ය.

පැහැරගැනීමට යොදාගත් කැබ් රථයද පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් සමඟ එය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මාවතගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මාවතගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.