නිසි නිවහනක් නැතිව අනාරක්ෂිත වූ පවුලකට පොලිසියෙන් නිවසක්

ආර්ථිකය සහ ආරක්ෂාව අතින් අතිශය අපහසුතාවට පත්ව, තරමක් අපහසුවෙන් හෝ ජීවිත්විය නොහැකි නිවහනක විසූ රත්නපුර පින්නවල පොලිස් වසමේ අටවක්වල ග්‍රාමයේ පවුලක් පිළිබඳව තොරතුරු ලද සබරගමු පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා, පින්නවල පොලිස් ස්ථානයේ නිලධාරීන් මෙහෙයවමින් අංග සම්පූර්ණ නිවසක් එම පවුල පදිංචි ඉඩමෙහිම ඉදිකර 2024.07.20 වන දිනට යෙදුනු සුභ මොහොතින් භාරදී ඇත.

අටවක්වෙල ශ්‍රී සුගතාරාම විහාරාධිපති හිමියන්ගේ අනුශාසනා යටතේ පින්නවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේද සහයෝගයෙන් පින්නවල පොලිස් ස්ථානාධිපතිවරයාගේ දැඩි කැපවීම මත මෙම උතුම් කර්තව්‍ය සඳහා, පොලිස් නිලධාරීන්, ව්‍යාපාරිකයන්, ප්‍රදේශවාසීන් ඇතුළු තවත් බොහෝ පිරිසක් ධන පරිත්‍යාග සිදුකර ඇති අතර පොලිස් නිළධාරීන් සහ ප්‍රදේශවාසීන් විසින් ඉදිකිරීම සඳහා ශ්‍රමයද ප්‍රතිලාභයකින් තොරව සත්භාවයෙන් ලබාදී තිබේ.

පාසල් දරුවෙකුද සිටින මෙම පවුලේ පියා පසුගිය සමයේ මෙරට පැතිරීගිය කොවිඩ් වෛරසය ආසාධනය වී මියගොස් ඇති අතර දරුවගේ සීයා සහ මිත්තණිය අතිශය වියපත්ව එක්තැන් වී සිටී. මව දෛනිකව උපයන යමකින් පවුල ජීවත්කරමින් සිට ඇත.
සියළු දෙනාගේ කැපවීම අවසානයේ, එම පවුලේ සතුටු කඳුලු මධ්‍යයේ චාරිත්‍ර වාරිත්‍ර නිසි පරිදි ඉටුකර නිවස විවෘත කර භාරදුන් මොහොත සඳහා මහා සංඝරත්නය ප්‍රමුඛව සබරගමු පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා, රත්නපුර දිසාව භාර වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති එම්.ඩී.පවිත්‍ර දයාරත්න මහතා සහ රත්නපුර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පී.කේ.කේ කපිල ප්‍රේමදාස මහතා ඇතුළු පොලිස් නිලධාරීන් ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වී තිබේ.