උත්කර්ෂවත් උත්සවයකින් නායකත්ව පුහුණු වැඩමුළු සඳහා සහභාගී වූවන්ට සහතිකපත්

මනා චිත්ත ධෛර්යක් ගොඩනගා ගනිමින් ආත්ම විශ්වාසයෙන් යුතුව වගකීම් දැරීමට සුදුසු, කාර්යයශූර, රටට වැඩදායී පුද්ගලයින් වීම සඳහා මෙරට නව යොවුන් වියේ පසුවන්නන් පුරුදු පුහුණු කෙරෙන ශ්‍රී ලංකා පොලිසියේ තෝතැන්නයි පොලිස් ශිෂ්‍ය භට කොට්ඨාසය.

එහි සේවාව පුළුල්ව මෙරට තරුණ පරපුරට ලබාදීම සඳහා ශ්‍රී ලංකා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි පොලිස් ශිෂ්‍යභට කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චින්තක ගුණරත්න මහතාගේ මෙහෙයවීමෙන් සහ නායකත්වයෙන් යුතුව ශිෂ්‍ය භට පුහුණු කිරීම් වලට අමතරව දෙදින නායකත්ව පුහුණු වැඩමුළු සමස්ථ දිවයින ආවරණය වන පරිදි පැවැත්වීම ආරම්භ කර ඇත.

මෙහි එක් ප්‍රදාන අරමුණක් වන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ සූක්ෂම උපක්‍රමයන්ට නොරැවටෙන තරුණ පරපුරක් ඇතිකර පාසල් ළමුන් ඉලක්ක කර විටින් විට ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාල හඳුනාගෙන මැඩපැවත්වීමය.

කළුතර පොලිස් ශිෂ්‍යභට මූලස්ථානයේ සහ බොරලන්ද ශිෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානයෙන් මේ වන විටත් එලෙස පාසල් දරු දැරියන් 1000 කට අධික පිරිසකට නායකත්ව පුහුණු වැඩසටහන් පවත්වා ඇති අතර එම වැඩමුළු සඳහා සහභාගී වූ පාසල් අතරින් පාසල් 10 ක ශිෂ්‍ය නායක නායිකාවන් සහ ශිෂ්‍ය භටයින් 300 ක පිරිසක් උදෙසා සංකේතාත්මකව සහතිකපත් පිරිනැමූ උත්කර්ෂවත් උත්සවයක් පොලිස් ශිෂ්‍ය භට කොට්ඨාසය විසින් 2024.07.19 වන දින කොළඹ 07 , ශ්‍රී ලංකා ‍පදනම් ආයතනයේදී පැවැත්වීය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර පුහුණු හා උසස් පුහුණු දිසාව භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා, ප්‍රජා පොලිස් සංචාරක සහ ආයෝජන දිසාව භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතා, අපරාධ දිසාව සහ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධරයන් රැසක්ද, විදුහල්පතිවරුන්/ වරියන්, පාසල් ගුරුභවතුන් සහභාගී විය.