මෙරට අපරාධ රැසකට චෝදනා ලැබූ දෙදෙනෙකු එරටින් ගෙනත්

ශ්‍රී ලංකා පොලිසිය කරුණු වාර්ථාකිරීමෙන් අනතුරුව ජාත්‍යන්තර පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම සඳහා රතු නිවේදන නිකුත් කර තිබූ සැකකරුවන් දෙදෙනෙකු ඩුබායි පොලිසිය අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත භාර දී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් 2024.07.12 වන අද දින අළුයම එම සැකකරුවන් දෙදෙනා ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට ගුවන් මගින් රැගෙන ආ අතර එක් සැකකරුවෙකු කොළඹ අපරාධ කොට්ඨාස වෙතත් අනෙක් සැකකරු සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙතත් වැඩිදුර විමර්ශන සඳහා ගෙනයන ලදී.

සැකකරුවන් වයස අවුරුදු 26 ක් සහ 48 ක් වූ මට්ටක්කුලිය සහ නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන්ය

මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි සැකකරු 2022 වර්ෂයේ මට්ටක්කුලිය පොලිස් වසමේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය සිටි සැකකරුවෙකි.

අනෙක් සැකකරු 2019 වර්ෂයේ කොහුවල පොලිස් වසමේදි පුද්‍ගලයෙකු වෙඩි තබා ඝාතනය කළ අපරාධයට සම්බන්ධව අවශ්‍යව සිටි අතුරුගිරිය පොලිස් වසමේදී හෙරොයින් සන්තකයේ තබාගෙන සිට අත්අඩංගුවට පත්වූ, තවත් අපාරධ රැසකට සමබන්ධ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් විවෘත වරෙන්තු නිකුත්කර ඇති සැකකරුවෙකි.