නාදුනන ඇමතුමකට බැංකු ගිණුම් විස්තර මුල සිට අගට දිගහරින්න එපා

“ප්‍රමුඛ පෙළේ වෙළඳ ආයතනයකින් ඔබට තෑගි මුදලක් ලැබී ඇත. එම මුදල ඔබගේ ගිණුමට බැර කිරීම සඳහා බැංකු ගිණුම් අංකය ලබා දෙන්න” යනුවෙන් පවසමින් දුරකථන ඇමතුම් දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි පදිංචි පුද්ගලයන්ට ලබා දී බැංකු ගිණුම්හි තොරතුරු ලබාගෙන, ඒවායේ තැන්පත් මුදල් තවත් ගිණුමකට අන්තර්ජාලය ඔස්සේ යොමුකර මුදල් වංචාවන් සිදුකළ සැකකරුවන් දෙදෙනෙකු 2024.07.11 වන දින කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රුපියල් 180,000 ක් අන්තර්ජාලය ඔස්සේ වංචා කළ බවට ලද පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශනයේදී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට සමත්වී ඇත.

ඔවුන් වයස අවුරුදු 23 ක් හා 30 ක් වූ පොල්ගහවෙල සහ කෑගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන්ය. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සන්තකයේ තිබී ජංගම දුරකථන 07 ක්, විවිධ වර්ගයන්ගේ සිම්පත් 109 ක් පොලිස් භාරයට ගෙන තිබේ.
කොම්පඤ්ඤ වීදිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.