ස්ථානාධිපතිවරුන්ගේ වෘත්තීය දැනුම, යහපත් ආකල්ප ඔප්නැංවූ දෙදින වැඩමුළුවේ නිමාව

ශ්‍රී ලංකා පොලිස් පරීක්ෂකවරුන්ගේ සංගමයේ සංවිධානය සහ මෙහෙයවීම යටතේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ, ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය මූල්‍ය අනුග්‍රහයෙන් පළමු කණ්ඩායම ලෙස තෝරාගත් ක්‍රියාකාරී පොලිස් කොට්ඨාස සහ පොලිස් ස්ථාන භාර ස්ථානාධිපතිවරුන් 80 දෙනෙකු සඳහා දෙදින වැඩමුළුවක් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වීය.

පළමු දිනයේදී මාර්ගගත ආරක්ෂණ පනත (Online safety act), ඇප පනත, මූලික මිනිස් අයිතිවාසිකම්, මානව හිමිකම්, ජාත්‍යයන්තර මානුෂීය නීතිය (International Humanitarian Law), සරණාගතයින් පිළිබඳ නීතිය, සංක්‍රමණික නීතිය සහ විමර්ශනයේදී හා සටහන් යෙදීමේදී සිදුවන අඩුපාඩු සම්බන්ධව ගරු නීතිපතිතුමා, නීති විශාරදයින් සහ ප්‍රවීන දේශකයින්ද සම්බන්ධකරගනිමින් දේශන පවත්වා, දෙවන දිනයේදී ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය සහ රාජකීය කැනේඩියානු පොලිසිය විසින් අපරාධ විමර්ශනයේ නව ප්‍රවණතා සහ ක්‍රමවේද, නිලධාරියන්ගේ දැනුම හා ආකල්ප වර්ධනය, නායකත්වයේ ගුණාංග සම්බන්ධව දේශන ප්‍රායෝගික ක්‍රියාකාරකම්ද ඇසුරින් පාඨමාලා ලාභීන් වෙත ලබාදෙන ලදී.

2024.07.16 වන දින සවස වැඩමුළුව නිමාකරමින් සහභාගි වූ ස්ථානාධිපතිවරුන් වෙත සහතිකපත්‍ර ප්‍රදානය කළ අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසියේ ශ්‍රී ලංකාව හා මාලදිවයින කලාපය භාර ජ්‍යෙෂ්ඨ නිලධාරී මැතිව් ඉනස් (Detective Superintendent Matthew Innes) මහතා සමඟ සම්බන්ධීකරණ නිලධාරී වූ ලූක් ෆොල්ඩන් (Luke Folden) මහතා ඇතුළු ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගි විය.

එහිදී ශ්‍රී ලංකා පොලිස් පරීක්ෂකවරුන්ගේ සංගමයේ නිලධරයන් විසින් වැඩමුළුව සඳහා ලබාදුන් දායකත්වය වෙනුවෙන් ඔස්ට්‍රේලියානු ෆෙඩ්රල් පොලීසියේ නිලධාරී මණ්ඩලය වෙත සමරු සිහිවටන පිරිනමා ස්තූතිය ප්‍රකාශ කළහ.