වෘත්තීය දැනුමෙන් ස්ථානාධිපතිවරුන් තවදුරටත් සන්නද්ධ කෙරෙන දෙදින වැඩමුළුවක්

වසර 80ක පමණ දීර්ඝ ඉතිහාසයක් ඇති පොලිස් පරීක්ෂකවරුන්ගේ සංගමය විසින් පොලිස් ස්ථානයන්හි සහ පොලිස් ක්‍රියාකාරී කොට්ඨාසයන්හි ස්ථානාධිපතිවරුන් වෙනුවෙන් සංවිධානය කළ දෙදින වැඩමුළුවක් 2024.07.15 වන අද දින සහ 2024.07.16 යන හෙට දින කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වේ.

ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ සහ ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියේ මූල්‍ය අනුග්‍රහය යටතේ පැවැත්වෙන මෙම වැඩමුළුවේ ප්‍රධාන අරමුණ වන්නේ අතිශය වගකීම්සහගතව කාර්යය බහුල වෘත්තීය දිවියක් ගතකරනු ලබන පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ වෘත්තීය දැනුම සහ යහපත් ආකල්ප තවදුරටත් වර්ධනය කිරීමයි.

ඒ යටතේ පළමු කණ්ඩායම ලෙස තෝරාගත් ස්ථානාධිපතිවරුන් 80 දෙනෙකු සඳහා අත්අඩංගුවට ගනු ලබන සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රඳවා ගැනීම, වත්කම් විමර්ශනය හා පුනරුත්ථාපනය සඳහා යොමු කිරීම, ගරු අධිකරණයේ නඩු මෙහෙයවීමේදී මුහුණ දීමට සිදුවන නීතිමය ගැටළු නිරාකරණය කර ගැනීම, අපරාධ විමර්ශනයේදී නවීන තාක්ෂණ දැනුම උපයෝගී කර ගැනීම වැනි ප්‍රධාන කරුණු පිළිබඳව පුළුල්ව විග්‍රහ කිරීමට නියමිතය.

අද (15) දින උදෑසන පැවැත්වූ වැඩමුළුවේ සමාරම්භක උත්සවය සඳහා ගරු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා, අතිගරු ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා, ගරු මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සහභාගී වෙමින් වැඩමුළුව සාර්ථකව පැවැත්වීමට සුභාසිංශන පිරිනැමූ අතර අතර පොලිස් පරීක්ෂකවරුන්ගේ සංගමය විසින් එම මහත්වරුන් වෙත මෙම අවස්ථාව සහිගන්වමින් සමරු සිහිවටන ප්‍රධානයක්ද සිදුකරන ලදී.