කිලෝග්‍රෑම් 355 කට අධික මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් හෙට දවසේ උදුනේ දැවෙයි

ශ්‍රී ලංකා පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය මෙන්ම සයුරේදී නාවික හමුදාව විසින් සිදුකරන මත්ද්‍රව්‍ය වැටලීම් මගින් අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය තොග, නඩු කටයුතු සඳහා ඉදිරිපත්කිරීමෙන් අනතුරුව විනාශ කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේ ඉදිකළ දහන උදුන 2024.07.11 වන හෙට දිනයේ යලිත් වතාවක් පණගැන්වීමට නියමිතය.
විනාශ කිරීමට නියමිත මත්ද්‍රව්‍ය ප්‍රමාණය ‍කොකේන් කිලෝග්‍රෑම් 355 ග්‍රෑම් 881 කි. මෙම ප්‍රමාණයේ දළ වටිනාකම රුපියල් මිලියන 7829 කට ආසන්නය.

මත්ද්‍රව්‍ය තොගය හෙට (2024.07.11) දින උදෑසන 05.30 ට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් විසින් භාරගෙන විශේෂ කාර්යය බලකායේ ආරක්ෂාව යටතේ එදින උදෑසන 09.30 පමන වනවිට උදුන පිහිටි වනාතවිල්ලුව පොලිස් වසමේ ලැක්ටෝස් වත්ත ප්‍රදේශයට ප්‍රවාහනය කර පුත්තලම ගරු මහේස්ත්‍රාත්තුමාගේ අධීක්ෂණය යටතේ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නියෝජිතයින්, රජයේ රස පරීක්ෂක හා මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යංශ නිලධාරීන් ඉදිරිපිට පූර්ණ විනිවිද බාවයකින් යුතුව විනාශ කිරීමට සියළු කටයුතු සූදානම් කර තිබේ.

පුත්තලම වනාතවිල්ලුව දහන උදුන ස්ථාපිත කල දින සිට මේ දක්වා එම උදුන භාවිතාකල අවස්ථා දෙකෙහීදී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1534 ග්‍රෑම් 625 ක් දවා විනාශකළ අතර එම ප්‍රමාණයේ දළ වටිනාකම රුපියල් මිලියන 11,338 කට ආසන්නය.

එම මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1534 තුල අන්තර්ගතය හෙරොයින් කිලෝග්‍රෑම් 293 ග්‍රෑම් 271 ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 660 යි ග්‍රෑම් 14 ක් කෙටමින් මත්ද්‍රව්‍ය 581.34 ක් ය.