මිරිහාන පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යංශයට නව ගොඩනැගිල්ලක්, මෙවැනි ගොඩනැගිලි 08 ක් දිවයින පුරා ඉදිකිරීමට නියමිතයි

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජනගහන අරමුදල යටතේ ආරම්භ කල ව්‍යාපෘතියකට අනුව ජපානය විසින් ලබාදුන් මූල්‍ය ආධාර යටතේ මිරිහාන පොලිස් ස්ථානයේ ඉදිකරන ලද නව ළමා හා කාන්තා කාර්යංශ ගොඩනැගිල්ල ගරු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් වියාණි ගුණතිලක මහතාගේ සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සහභාගීත්වයෙන් 2024.07.09 වන අද දින සවස ජනතා අයිතියට පත්කරන ලදී.

ප්‍රධාන අමුත්තන් ලෙස ලෙස සහභාගී වූයේ ජපන් තානාපති H.E Mizukoshi Hideaki මහතා සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කුන්ලේ අදේනි මහතායි.

ළමා හා කාන්තාවන්ට සිදුවන හිංසන සහ අපරාධ පිළිබඳව පැමිණිලි ලබාගැනීම සඳහා මෙන්ම පැමිණිලිකරුවන්ට පොලිස් ස්ථානයෙන් පිටත ස්ථානයක සිට තම පෞද්ගලිකත්වය වඩාත් ආරක්ෂාවන පරිදි පැමිණිලි ඉදිරිපත්කිරීමට වැඩි ඉඩ ප්‍රස්ථාවක් සලසමින් එක් ගොඩනැගිල්ලකට රුපියල් මිලියන 06ක මූල්‍ය ප්‍රතිපාදන ලබාදී විදෙස් ආධාර යටතේ පළාත් 9 තුල මෙවැනි ගොඩනැගිලි 9 ක් ඉදිකිරීමට යෝජිත වූ අතර මෙම ගොඩනැගිල්ල බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් ඉදිවූ ගොඩනැගිල්ලයි.

ගොඩනැගිල්ලට අවශ්‍ය සියළු ගෘහ උපකරණ සහ දේපළද මෙම විදෙස් අධාරය යටතේ හිමිවී තිබේ.