නීතිගරුක රටක්” උදෙසා ඌව පළාත් ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන් බලගැන්වේ

ඌව පළාතේ ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් බලගැන්වීමේ හමුව ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගරු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මැතිතුමාගේ සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් වියානි ගුණතිලක මහතාගේ, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සහභාගීත්වයෙන් 2024.07.06 වන අද දින සවස වැල්ලවාය මහජන ක්‍රීඩාංගනයේදී පැවැත්වීය.

අපරාධ හා මත්ද්‍රව්‍ය මැඩපැවත්වීම සඳහා ගෙන යා යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් සෘජුවම දැනුවත් කිරීම සඳහා මෙන්ම අභිප්‍රේරණය කිරීම සඳහා සමස්ත දිවයින ආවරණය වන පරිදි මේ වන විට රැස්වීම් රැසක් ගරු මහජන ආරක්ෂක අමාත්‍යතුමන්ගේ සහ පොලිස්පතිතුමාගේ මෙහෙයවීම මත සාර්ථකව පැවැත්වූ අතර මෙය ගරු ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තිය සිදුවූ ප්‍රථම රැස්වීමයි.

මේ සඳහා මොණරාගල,බදුල්ල,බණ්ඩාරවෙල යන පොලිස් කොට්ඨාසයන්ට අයත් ග්‍රාම සේවා වසම්හි ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් 10,000 කට අධික පමණ පිරිසක් සහභාගී විය.

යුක්තිය මෙහෙයුමට සමගාමීව ඌව පළාත තුල පොලිසිය ගෙනයන වැඩපිළිවෙල සඳහා ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින්ගේ සක්‍රිය දායකත්වයේ වැදගත්කම පිළිබඳව පැහැදිලි කරමින් සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් දිවයිනෙන් තුරන් කිරීම සඳහා ඌව පළාතේ ජනතාවගෙන් ලැබිය යුතු සහය පිළිබඳව ගරු අමාත්‍යතුමන් සහ පොලිස්පතිතුමන් විසින් එහිදී පැමිණ සිටි පිරිස දැනුවත් කරන ලදී.

මෙහෙදී ප්‍රජා පොලිස් කමිටු විසින් ශ්‍රී ලංකා පොලිසියට දක්වන සහය අගය කිරීම සදහා ඔවුන්ට විශේෂ සාමාජික හැදුනුම්පතක් සහ සාමදාන විනිශ්චයකාරවර තනතුරු ලබා දීමට නියමිත අතර,අද දින එය සංකේතවත් කීරීම සදහා මොණරාගල සහ බදුල්ල පොලිස් කොට්ඨාසයන්හි ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් 15 දෙනෙකු සදහා හැදුනුම්පත් සහ සාමදාන විනිශ්චයකාර අයදුම්පත් ලබා දීම සිදු කෙරෙනි.