පොලිස් මධ්‍යම සුභ සාධක සංගමයේ යහසාධක යෝජනා ක්‍රමයට වසර 50 ක් සපිරේ

1974 වසරේ ජූනි මස ආරම්භකර ඇති ශ්‍රී ලංකා පොලිස් මධ්‍යම සුභසාධක සංගමයේ යහසාධක යෝජනා ක්‍රමය මෙම වසරට, එනම් 2024 වර්ෂයට වසර 50 ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කල උත්සවයක් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් 2024.07.04 වන අද දින උදෑසන නාරාහේන්පිට පොලිස් රෝහල් පරිශ්‍රයේදී පැවැත්විනි.

පොලිස් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන පොලිස් නිලධරයන් සහ නිලධරයන්ගේ ඥාතීන් මූලික කරගනිමින් මෙම සැමරුම් උත්සවය පැවැත්වූ අතර ප්‍රථමයෙන් පොලිස්පතිතුමා විසින් පොලිස් මධ්‍යම සුභසාධක සංගමයේ යහසාධක යෝජනා ක්‍රමයේ නිර්මාතෘ කන්දයියා මහතාගේ පිළිරුවට පුෂ්පඋපහාර දැක්වීය.

අනතුරුව මෙම යහසාධක යෝජනා ක්‍රමය මගින් ප්‍රතිලාභ ලබන පාර්ශව කිහිපයක් සංකේතවත් කරමින් විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ නිලධරයන්ගේ දරුවන් පස් දෙනෙකු (05) සඳහා මූල්‍යමය චෙක්පත් ලබාදීම්, විශ්‍රාමික පොලිස් නිලධරයන් පස් දෙනෙකෙු (05) සඳහා මූල්‍යමය චෙක්පත් ලබාදීම සහ ශ්‍රී ලංකා පොලිසියේ කැපකරු මාපිය ක්‍රමය ආරම්භ කරමින් දෙමාපිය දෙදෙනාම මියගොස් ඇති දරුවන් දෙදෙනෙකුට(02) සංකේතාත්මකව මූල්‍යමය ආධාර ලබාදීම පොලිස්පතිතුමා විසින් සිදුකරන ලදී.

මෙම අවස්ථාව සඳහා පොලිස්පතිතුමා සමඟින් පොලිස් මධ්‍යම සුභ සාධක සංගමයේ විධායක කමිටු සභාපති අපරාධ සහ රථවාහන දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා, සහයක සේවා භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රාජිත ශ්‍රී දමින්ද මහතා, සුභ සාධන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති පද්මිණී වීරසූරිය මහත්මිය ඇතුලුව පොලිස් නිලධරයන්, පොලිස් රෝහලේ කාර්යය මණ්ඩලය සහභාගී විය.