අවුරුදු 04ක දරුවෙකුට පහර දෙන අන්දම වීඩියෝකර දරුවාගේ මවට යැවූ සැකකාර පියා අත්අඩංගුවට

ඌව පරණගම පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් සහ වීඩියෝ දර්ශන අනුව වයස අවුරුදු 04ක පිරිමි දරුවෙකු හට කෲර ලෙස පහර දීම සම්බන්ධව ඌව පරණගම පොලිසිය විසින් විර්මශන ආරම්භ කර ඇත.

මේ සම්බන්ධව ඌව පරණගම පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්‌යාංශය විසින් සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ, මෙම පහරකෑමට ලක් වූ වයස අවුරුදු 04ක් වන දරුවාගේ මව විදේශ ගතව ඇති බවත්, ඇය විසින් දින කිහිපයක සිට ඇයගේ ස්වාමිපුරුෂයා වන දරුවාගේ පියා වෙත දුරකථන ඇමතුමක් නොගැනීම හේතුවෙන් ඇති වූ කෝපය මත පියා විසින් මෙම දරුවාට පහර දී එය වීඩියෝ ගත කර දරුවා මරණ බවට තර්ජනය කර අදාළ විඩියෝ දර්ශන විදේශ ගතව සිටින මවට යවා ඇති බවයි.

ඒ අනුව දරුවාට පහරදීම සිදු කළ සැකකාර පියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු අවුරුදු 26ක් වයසැකි ගමිපහවත්ත, ඉහළ කොටස ඌව පරණගම ලිපිනයේ පදිංචිකරුවෙකි.

වින්දිත දරුවා අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කිරීමට නියමිත අතර, පහරදීම සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කර නීතිමය පියවර ගැනීම සඳහා ඌව පරණගම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.