ගමන් මළු පිළිබඳව විමසිලිමත් විය යුත්තේ පොළොවේදී පමණක් නොවේ

2024.06.22 වන දින අබුඩාබි සිට කොළඹ බලා පියාසර කළ ගුවන් යානයක පැමිණි දවුලගල හික්කඩුව ලිපිනයේ පදිංචි වයස අවුරුදු 43 ක් වූ පුද්ගලයෙකු ගුවන් යානයේදී ඉහලින් තබාගත් අගුලුදා නොතිබූ තම බෑගයේ තිබූ රු. ලක්ෂ 12 ක් පමණ වටිනා රන් භාණ්ඩ සොරකම් කර ඇති බවට 2024.06.22 වන දින කටුනායක ගුවන් තොටුපල පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මෙම අස්ථානතවීමට ගුවන් යානයේ පැමිණි චීන ජාතික කාන්තාවක් සහ තවත් පිරිමි පුද්ගලයෙකු සැක බව පැමිණිලිකරු විසින් සඳහන් කල බැවින් ගුවන්තොටුපල පොලිස් ස්ථානාධිපතිවරයා අදාළ චීන ජාතික කාන්තාව හදුනාගෙන එම කාන්තාව නැවත විදෙස් ගත වීමට පැමිණීමේදී තමා වෙත දැනුම් දෙන ලෙස ගුවන්තොටුපල ආගමන විගමන නිලධාරීන් වෙත දැනුම් දී ඇත.

ඒ අනුව 2024.06.23 වන දින උදෑසන කොළඹ සිට නවදිල්ලි බලා ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් යානයකට ඇතුල්වීම සඳහා පැමිණි පැමිණිල්ලට අදාල චීන ජාතික කාන්තාව ආගමන විගමන නිලධාරීන් නවතාගෙන ගුවන් තොටුපල පොලිසිය වෙත භාර දී ඇත.

අත්අඩංගුවට ගැනීම එදින උදෑසන 06.00 ට පමණ සිදුකර ඇති අතර සැකකාර විදෙස් කත සතුව තිබූ සොරකමට ලක්වූ එක් රන් භාණ්ඩයක් හදුනාගැනීමෙන් ඇය මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්කිරීමට කටයුතු කර ඇති අතර, අනතුරුව අධිකරණය විසින් ඇය 2024.07.05 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර කර ඇත.

සිදුවීම සම්බන්ධයෙන් ගුවන්තොටුපල පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.