මත්ද්‍රව්‍ය දහන උඳුන යළි පණගැන්වේ. විෂ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1209 ක් දැවී ය.

ශ්‍රී ලංකා පොලිසිය, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා නාවික හමුදාව විසින් දිගින් දිගටම සිදු කරන මත්ද්‍රව්‍ය වැටලීම් වලදී අත්අඩංගුවට පත් වන සැකකරුවන් සන්තකයේ තිබී හමු වූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 614 ග්‍රෑම් 36 ක්, ප්‍රථමවරට ශ්‍රී ලංකාවෙන් හඳුනා ගන්නා ලද කෙටමින් මත්ද්‍රව්‍ය කිලෝ 581 ග්‍රෑම් 34 ක ප්‍රමාණයක් හා 2019.11.22 වන දින මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් විසින් සිදු කරන ලද වැටලීමකදී සැකකරුවන් දෙදෙනෙකු සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ 13 ග්‍රෑම් 686 ක ප්‍රමාණය විනාශ කිරීම සඳහා 2024.06.29 වන දින කොළඹ මහ අධිකරණයේදී මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් විසින් භාර ගන්නා ලදි.

අනතුරුව එම මත්ද්‍රව්‍ය පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යටතේ පුත්තලම ලැක්ටෝස් වත්තේ ඉදි කර ඇති මත්ද්‍රව්‍ය දහන උදුන වෙත රැගෙන එන ලදී.

එම මත්ද්‍රව්‍ය තොගය පුත්තලම ගරු මහේස්ත්‍රාත් අයෝමා විජේරත්න, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සහකාර අධ්‍යක්ෂක විද්‍යාත්මක පර්යේෂණ රංජිත් වික්‍රමසිංහ මහතා සහ මාධ්‍යවේදීන් ඉදිරියේ විනාශ කරන ලදී.