මත්කුඩු දවන උඳුන හෙට දින යලිත් වරක් පණගැන්වේ

ශ්‍රී ලංකා පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය මෙන්ම සයුරේදී නාවික හමුදාව විසින් සිදුකරන මත්ද්‍රව්‍ය වැටලීම් මගින් අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය තොග, නඩු කටයුතු සඳහා ඉදිරිපත්කිරීමෙන් අනතුරුව විනාශ කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේ ඉදිකළ දහන උදුන 2024.06.29 වන හෙට දිනයේ යලිත් වතාවක් පණගැන්වීමට නියමිතය.

විනාශ කිරීමට නියමිත මත්ද්‍රව්‍ය ප්‍රමාණය අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 614 ග්‍රෑම් 36 ක්, කෙටමින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 581 ග්‍රෑම් 34 ක් සහ හෙරොයින් කිලෝ ග්‍රෑම් 13 ග්‍රෑම් 686 කි.

මෙම මත්ද්‍රව්‍ය තොගය හෙට (29) දින උදෑසන 05.30 ට කොළඹ මහාධිකරණයේදී මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් විසින් භාරගෙන එදින උදෑසන 09.30 ට උදුන පිහිටි වනාතවිල්ලුව පොලිස් වසමේ ලැක්ටෝස් වත්ත ප්‍රදේශයට ප්‍රවාහනය කර පුත්තලම ගරු මහේස්ත්‍රාත්තුමාගේ අධීක්ෂණය යටතේ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නියෝජිතයින්, රජයේ රස පරීක්ෂක හා මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යංශ නිලධාරීන් ඉදිරිපිට පූර්ණ විනිවිද බාවයකින් යුතුව විනාශ කිරීමට සියළු කටයුතු සූදානම් කර තිබේ.