පාසල් ළමුන් ඉලක්කකර මදන මෝදක විකුණූ කාන්තාවක් පොලිස් අත්අඩංගුවට

හුංගම පොලිස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව හුංගම පොලිස් වසමේ සියඹලාගොඩ, බෙලිඅත්ත ලිපිනයේ වැටලීමක් සිදුකර ගංජා මිශ්‍ර මදන මෝදක හා හෙරොයින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගත් සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාරිය අත්අඩංගුවට ගැනීමේ දී හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 600ක් ද ගංජා මිශ්‍ර මදන මෝදක ග්‍රෑම් 406 ද පොලිසිය භාරයට ගෙන ඇති අතර, සැකකාරියගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කර අනාවරණය කරගන්නා ලද තොරතුරු මත සැකකාරියගේ රන්න නගරයේ පිහිටි වෙළඳ සැලක සඟවා තිබූ ගංජා මිශ්‍ර මඳන මෝදක කිලෝ 24 ග්‍රෑම් 480 ද මත්ද්‍රව්‍ය විකිණීමෙන් උපයා ගන්නා ලද මුදල් ද පොලිසිය විසින් සොයාගෙන ඇත. මෙම මදන මෝදක ජාවාරම පාසල් ළමයි ඉලක්ක කරගෙන මෙහෙයවා ඇති බවටත් වැඩිදුර කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකාරිය අවුරුදු 40 ක් වයසැති සියඹලාගොඩ, බෙලිඅත්ත ලිපිනයේ පදිංචිකාරියක් වන අතර සැකකාරිය අගුණුකොළපැලැසස් ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 2024.07.03 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.