ත්‍රීරෝද රථ රියදුරන් සිහිසුන් කර මුදල් හා දේපළ කොල්ලකන ලද සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට

කුලී ගමනක් යන මුවාවෙන් ත්‍රීරෝද රථයක් රැගෙන ගොස් මත් වීමට යමක් ලබා දී දේපළ හා මුදල් කොල්ලකෑම සම්බන්ධව ලද පැමිණිල්ලක් අනුව කෑගල්ල කොට්ඨාස අපරාධ අංශය විසින් විමර්ශන ආරම්භ කර සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අත්අඩංගුවට ගෙන සිදු කරන ලද විමර්ශන අනුව ත්‍රීරෝද රථයක් කුලි ගමනක් යන මුවාවෙන් රැගෙන ගොස් ත්‍රීරෝද රථ රියදුරුට තැඹිලි ගොඩියකට මත් වෙන යමක් දමා ලබා දී රියදුරු සිහිසුන් වීමෙන් පසු දේපළ හා මුදල් කොල්ලකා ඇති බවත්, සැකකරු විසින් දිවයිනේ පොලිස් වසම් රැසක මෙවැනි ආකාරයට දේපළ හා මුදල් කොල්ලකෑම් වල නිරත වී ඇති බවත්, සැකකරුට විරුද්ධව අධිකරණ රැසක නඩු පවතින බවටද වැඩිදුරටත් සිදුකරන ලද විමර්ශනයේදී කරුණු අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 46 ක් වයසැති ලෙතන්ට් වත්ත, හැටන් ලිපිනයේ පදිංචිකරුවෙකි. සැකකරු වරකාපොල ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 2024.06.28 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.