තරුණියකගේ නිරුවත් ඡායාරූප සැකසූ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

තරුණියකගේ නිරුවත් ඡායාරූප සැකසූ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය වෙත ලද පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කර සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මීගමුව පාර, පෑලියගොඩ ලිපිනයේ පදිංචි වයස අවුරුදු 19ක තරුණියක් විසින් ඇය වැඩකරන ස්ථානයේ වැඩ පරීක්ෂකවරයා විසින් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන යාම සඳහා ඇයගෙන් කළ ඉල්ලිම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඔහු විසින් මෙසේ නිරුවත් ඡායාරූප සකසා ඇති බවට පැමිණිල්ල මගින් සඳහන් කර ඇත.

සැකකරු අත්අඩංගුවට ගෙන සිදු කරන ලද විමර්ශනයේදී මෙම සැකකරු තරුණියගේ මුහුණු පොත හරහා ලබා ගත් ඡායාරූපයකට කාන්තාවගේ නිරුවත් ශරීරයක් බද්ධ කර මෙම නිරුවත් ඡායාරූපය සකස් කර ඇති බවත්, ඔහු විසින් මෙම ඡායාරූපය තවත් පුද්ගලයින් කිහිප දෙනෙකුට පෙන්වා ඇති බවත් වැඩිදුරටත් සිදුකරන ලද විමර්ශනයේ දී අනාවරණය වී ඇති අතර එම පුද්ගලයන්ගේ ප්‍රකාශ පොලිසිය විසින් සටහන් කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවඅරුදු 35ක් වන කිරුලපන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වන අතර සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු 2024.07.04 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.