හෝමාගම නගරයේ රථවාහන ගමනාගමනයට සීමා, භාවිතා කළ හැකි විකල්ප මාර්ග

ත්‍රිවිධ හමුදාව මෙන්ම රාජ්‍ය මෙන්ම පුද්ගලික ආයතන රාශියකගේ සහයෝගයෙන් සංවිධානය කරනු ලබන ධර්ම රශ්මි පොසොන් කලාපය 2024.06.21 වන දින සිට 2024.06.23 වන දින දක්වා හෝමාගම නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ.

මෙම පොසොන් කලාපය තුල පහන් කූඩූ, තොරණ් හා දන්සැල් විශාල ප්‍රමාණයක් පැවැත්වීමට නියමිත අතර අදාල කාල සීමාවේ මෙම ප්‍රදේශ ආශ්‍රිතව සැලකිය යුතු ජන ඝනත්වයක් දක්නට ලැබෙනු ඇත.

එබැවින් පොසොන් කලාපය පැවැත්වෙන ඉහත දිනයන්හි පස්වරු 06.00 සිට අළුයම 01.00 දක්වා හෝමාගම නගරයේ මාර්ග තුල ගමනාගමනය සීමා කිරීමට නියමිතය. ඒ අනුව මාර්ග කිහිපයක එක් දිශාවකට පමණක් රථ වාහන ධාවනය කරවීමට නියමිත අතර විකල්ප මාර්ග ලෙස පහත සදහන් මාර්ග භාවිත කළ හැක.

කොළඹින් පිටවීම අවිස්සාවේල්ල දක්වා මාර්ගය

කොළඹ දෙස සිට හයිලෙවල් මාර්ගය ඔස්සේ ගමන් ගන්නා මගී ප්‍රවාහන බස් රථ හා අනෙකුත් වාහන හැර සියළුම බර වාහන කොට්ටාව මංසන්දියෙන් වමට හැරී රුක්මලේ හන්දිය ඔස්සේ පුංචි අතුරුගිරිය හන්දියට ගමන්කර එම හන්දියෙන් දකුණට හැරී ගොඩගම හන්දිය දෙසට ධාවනය කර එතැනින් වමට හැරී අවිස්සාවේල්ල දෙසට ගමන් කිරීමට හැකියාව ඇත.

අවිස්සාවේල්ල දෙස සිට කොළඹ දෙසට දක්වා මාර්ගය

අවිස්සාවේල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වන මගී ප්‍රවාහන බස් රථ හා අනෙකුත් වාහන හැර සියළුම බර වාහන ගොඩගම හන්දියෙන් දකුණට හැරී අතුරුගිරිය නගරය හරහා කොළඹ දෙසටත් අතුරුගිරිය මාර්ගයේ පුංචි අතුරුගිරිය මාර්ගයෙන් වමට හැරී රුක්මලේ හරහා කොට්ටාව නගරය දෙසට ගමන් කර කොට්ටාව නගරයෙන් දකුණට හැරී හයිලෙවල් මාර්ගය ඔස්සේ කොළඹ දෙසට ධාවනය කල හැක.
බර වාහන හැර මඟී ප්‍රවාහන බස් රථ ඇතුළු සියලුම සැහැල්ලු වාහන ගොඩගම හන්දියේ සිට හෝමාගම නගරය හරහා හයිලෙවල් මාර්ගය ඔස්සේ කොළඹ දෙසට ධාවනය කල හැක.

හෝමාගම කටුවාන කර්මාන්තපුරයට ගමන් කරන බර වාහන

කොළඹ දෙස සිට හෝමාගම කටුවාන කර්මාන්තපුරයට ගමන් ගන්නා සියළුම බර වාහන කොට්ටාව නගරයෙන් දකුණට හැරී හොරණ මාර්ගය ඔස්සේ මත්තේගොඩ හන්දිය දෙසට ගමන් කර වමට හැරී දොලේ කඩේ හන්දිය ඔස්සේ දියගම හන්දියට ගමන් කර එහිදී වමට හැරී උඩුවන හන්දිය ඔස්සේ කර්මාන්තපුරයට ගමන් කල හැක.

හයිලෙවල් මාර්ගය ඔස්සේ කොට්ටාව නගරයේ සිට ගොඩගම දෙසට ධාවනය වන වාහන

කොට්ටාව දෙස සිට ගමන් කරන බර වාහන හැර මගී ප්‍රවාහන බස් රථ හා අනෙකුත් සැහැල්ලු වාහන හයිලෙවල් මාර්ගය ඔස්සේ ගලවිලවත්ත හන්දියට ගමන් කර ගලවිල හන්දියෙන් වමට හැරී හෝමාගම රෝහල් හන්දියට ගමන් කර එම ස්ථානයෙන් දකුණට හැරී කොට්ටාව පිටිපන පරණ පාර ඔස්සේ හයිලෙවල් පාර පිටිපන හන්දියට ගමන් කර එම ස්ථානයෙන් වමට හැරී නැවත හයිලෙවල් මාර්ගය ඔස්සේ ගොඩගම නගරය හරහා අවිස්සාවේල්ල දෙසට ගමන් කිරීමට හැක.

අවිස්සාවේල්ල දෙස සිට ගමන් කරන වාහන සඳහා හයිලෙවල් පාර පිටිපන හන්දියෙන් දකුණු දෙසට දිවෙන කොට්ටාව පිටිපන පරණ මාර්ගයට ඇතුළු විය නොහැක.

පිටිපන මොරගහහේන මාර්ගය

හයිලෙවල් මාර්ගයේ පිටිපන හන්දිය සිට මොරගහහේන දෙසට සියළුම රථ වාහන ඇතුල් වීම සදහා පමණක් සීමා කර ඇත.

මොරගහහේන දෙස සිට තලගල හන්දිය ඔස්සේ පිටිපන දෙසට ගමන් ගන්නා රථවාහන සඳහා පිටිපන මොරගහහේන මාර්ගයේ ඉස්කෝල හන්දියෙන් පිටිපන දෙසට ගමන් කල නොහැකි වන අතර, මෙම සියළුම වාහන ඉස්කෝල හන්දියෙන් දකුණට හැරී පිටිපන මහින්ද රාජපක්‍ෂ විද්‍යාලය අසලින් දිවෙන දාම්පේ මාර්ගය ඔස්සේ දාම්පේ හන්දිය වෙත ගමන් කර එම ස්ථානයෙන් වමට හැරී, මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය දක්වා ගමන් කර එම ස්ථානයෙන් වමට හැරී ගොඩගම හන්දිය දක්වා ගමන් කර හයිලෙවල් මාර්ගය වෙත පිවිසිය හැක.

දාම්පෙ මීගොඩ මාර්ගයේ දාම්පෙ හන්දියෙන් පිටිපන මහින්ද රාජපක්‍ෂ විද්‍යාලය දෙසට වාහන ඇතුළු විය නොහැක.

උඩුවන සිට පිටිපන පන්සල හංදිය දක්වා මාර්ගය

උඩුවන හන්දිය දෙස සිට පිටිපන පන්සල් හන්දිය දෙසට ගමන් ගන්නා රථවාහන සඳහා පමණක් මාර්ගය විවෘත වන අතර පිටිපන පන්සල හන්දියේ සිට උඩුවන හන්දිය දෙසට රථවාහන ඇතුළු විය නොහැක.

දියගම දෙස සිට හෝමාගම නගරය දෙසට ගමන් මාර්ගය

දියගම දෙස සිට හෝමාගම නඟරය දෙසට ගමන් කරනු ලබන රථ වාහන කටුවාන කර්මාන්තපුර හන්දිය අසල ඇති විකල්ප මාර්ගය ඔස්සේ හයිලෙවල් මාර්ගය දෙසට විවෘතව ඇත.
හයිලෙවල් මාර්ගය දෙස සිට විකල්ප මාර්ගය දෙසට වාහන ඇතුල්විය නොහැක.
හෝමාගම නගරයේ සිට කටුවාන , උඩුවන හරහා දියගම හන්දිය දෙසට ගමන් කරනු ලබන වාහන වලට බාධාවකින් තොරව ගමන් කිරීමට හැකියාව ඇත.