බාලවයස්කාර දියණියන් දෙදෙනාගේ නිරුවත් ඡායාරූප ලබාගත් සැකකාර මව අත්අඩංගුවට

බාලවයස්කාර දැරියන් දෙදෙනෙකුගේ නිරුවත් ඡායාරූප ලබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කර ඇත.

වයස අවුරුදු 10ක් හා 13ක් වූ ගැහැණු ළමයි දෙදෙනාගේ නිරුවත් ඡායාරූප හා වීඩියෝ දර්ශන ඔවුන්ගේ මව වන සැකකාරිය විසින් ඇයගේ ජංගම දුරකථනයෙන් ලබා ගත් බවට වයස අවුරුදු 13 ක් වූ වැඩිමහල් දියණිය විසින් පොලිසියට කරන ලද පැමිණිල්ල අනුව විමර්ශන ආරම්භ කර ඇති අතර, මෙසේ ලබා ගත් ඡායාරූප වෙනත් පුද්ගලයෙකුට යැවිමට ලබා ගත්තේ ද යන්න පිළිබඳ බියෙන් පසුවන වන බව දියණිය විසින් පැමිණිල්ල ඉදිරිපත් කරමින් වැඩිදුරටත් පොලිසිය හමුවේ ප්‍රකාශ කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කිරීමෙන් පසු සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම සැකකාර කාන්තාව විසින් නිවසේදී නිරන්තරයෙන් දරුවන් ශාරීරික හා මානසික පීඩාවට පත් කර ඇති බවටද කරුණු අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකාරිය අවුරුදු 32ක් වයසැති දේවිපුරම්, පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර සැකකාරිය මුලතිව් ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු 2024.06.25 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. බාල වයස්කාර දැරියන් සම්බන්ධයෙන් අධිකරණය මගින් පරිවාස වාර්තාවක් කැඳවීමට කටයුතු කර අධිකරණය මඟින් සුදුසු භාරකාරත්වයකට පත් කිරිමට නියමිතව ඇත. පුදුකුඩිඉරිප්පු පොලිසිය විසින් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.