ස්ත්‍රී දූෂණ , දේපළ කොල්ලකෑම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට

දෙයියන්දර පොලිස් වසමේ කාන්තාවක් දුෂණය කර දේපළ කොල්කෑමේ සිද්ධියක් සම්බන්ධව පොලිසියට ලද පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කරන ලදී.

දෙයියන්දර පොලිස් වසමේ දේවාලේගම, රදාවේළ ලිපිනයේ පිහිටි නිවසක් වෙත රාත්‍රී කාලයේ ඇතුළු වී එම නිවසේ පදිංචි 34 හැවිරිදි කාන්තාවකට පිහියක් පෙන්වා මරණ බවට තර්ජනය කර පුද්ගලයන් දෙදෙනෙකු විසින් ස්ත්‍රී දුෂණය සිදු කර නිවසෙහි දේපළ කොල්ලකෑ බවට අදාළ පැමිණිල්ල මඟින් සඳහන් කර තිබුණි.

මේ සම්බන්ධව දෙයියන්දර පොලිසිය සහ මාතර අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් පැමිණ විමර්ශන සිදු කිරීමෙන් පසු ස්ත්‍රී දුෂණය සිදු කර දේපළ කොල්ලකන ලද සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් අතර නිල සුනඛ කොට්ඨාසයේ ඔස්කා නැමති නිල සුනඛයාගේ මඟපෙන්වීම මත මෙම අපරාධය සඳහා පැමිණි තවත් සැකකරුවෙකු ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා ප්‍රදේශයේ ස්ත්‍රී දුෂණ සිදු කිරීම, ගෙවල් බිදීම්, දේපළ කොල්ලකෑම් ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති සැකකරුවන් බවට කරුණු අනාවරණය වී ඇති අතර ඔවුන් සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත ජීව අත්බෝමබයක්, හෙරායින් මත්ද්‍රව්‍ය ,පිහියක් සහ ගෙවල් බිඳීමට යොදා ගන්නා උපකරණ පොලිසිය විසින් සොයා ගැනීමට සමත්ව ඇත.

සැකකරුවන් අවුරුදු 39, 40 සහ 20 යන වයස්වල පසුවන දේවාලෙගම, රඳාවේල පදිංචිකරුවන් වේ. සැකකරුවන් දෙයියන්දර ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 2024.06.27 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. වැඩිදුර විමර්ශන දෙයියන්දර පොලිස් ස්ථානය විසින් සිදු කරනු ලබයි.