ගිනි අවි සමඟ ගෙවල් බිඳුම් රැසකට සම්බන්ධ සැකකරුවන් පොලිස් මාර්ග බාධකයකදී අත්අඩංගුවට

සැකකටයුතු යතුරුපැදිකරුවන් ප්‍රදේශයේ සැරිසරන බවට ලද තොරතුරක් අනුව බඩල්ගම පොලිස් වසමේ කලුමඩ ප්‍රදේශයේ ක්ෂණික මාර්ග බාධක යොදවා මාර්ගයේ ගමන් ගන්නා පුද්ගලයින් සහ වාහන පරීක්ෂා කිරීම් සිදු කිරීමේ දී සැකකටයුතු පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන විමර්ශන ආරම්භ කර ඇත.

සැකකරුවන් සතුව තිබී බෝර 12 ගල්කටස් ගිනි අවි 02 ක් සහ එම උණ්ඩ, විදේශිය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, ගෙවල් බිඳීමේ උපකරණ සහ හෙරොයින් මත්ද්‍රව්‍ය පොලිසිය විසින් සොයා ගෙන ඇත. සැකකරුවන් අත්අඩංගුවට ගෙන සිදු කරන ලද ප්‍රශ්න කිරීමේදී සැකකරුවන් ප්‍රදේශයේ ගෙවල් බිඳුම් සහ දේපළ කොල්ලකෑම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් බවට කරුණු අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 43, 44 සහ 47 යන වයස්වල පසුවන මිනුවන්ගොඩ සහ දිවුලපිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. සැකකරුවන් මිනුවන්ගොඩ ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රඳවා ප්‍රශ්න කරමින් මොවුන් සිදු කරන ලද අපරාධ අනාවරණය කර ගැනීම සඳහා බඩල්ගම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.