හොරොයින් කිලෝග්‍රෑම් 131 ක් බිලී බාගෙන‍ එමින් සිටි ධීවර යාත්‍රාව ඒකාබද්ධ මෙහෙයුමකින් නාකොටික් දැලේ

බහුදින ධීවර යාත්‍රාවකින් නීති විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන එමින් සිටින බවට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත ලද තොරතුරක් මත ක්‍රියාත්මක වූ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් නාවික හමුදා නිලධාරීන් හා ඒකාබද්ධව මෙහෙයුමක් දියත් කර අදාළ ධීවර යාත්‍රාව 2024.06.15 වන ඊයේ දින ධීවරයන් 06 දෙනෙකු සමඟ ගැඹුරු මුහුදේදී අත්අඩගුවට ගන්නා ලදී.

සිදුකල පරීක්ෂාවේදී යාත්‍රාවේ නියමු කුටියේ තිබී මත්ද්‍රව්‍ය තොගය හමුවී ඇති අතර සැකකරුවන් සමඟ යාත්‍රාව ගාල්ල නාවික හමුදා ජාටිය වෙත රැගෙන විත් සිදුකල පිරීක්ෂාවේදී මත්ද්‍රව්‍ය ප්‍රමාණය හෙරොයින් කිලෝ 131 ග්‍රෑම් 814 ක් බව අනාවරණය වී තිබේ.

ශ්‍රි ලංකාව තුලට මත්ද්‍රව්‍ය ආනයනය කිරීම, සන්තකය හා ජාවාරම් කිරීම යන වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සය දෙන‍ා වයස අවුරුදු 23,32, 34,34,39 හා 43 වයස්වල පසුවන ගන්දර හා දෙවිනුවර ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය මොවුන් අධිකරණයට ඉදිරිපත් කර 2024.06.21 වන දින දක්වා රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.