මත්පෙති වලට අත්අඩංගුවට ගත් පුද්ගලයින් වෙනුවෙන් අල්ලස් දීමට ගිය පුද්ගලයාට වැඩ වරදී

නාගොල්ලාගම පොලිසියේ නිලධාරීන් පිරිසක් අපරාධ නිවාරණ රාජකාරීයේ නිරතව සිටිය දී මාර්ගයේ ගමන්ගත් යතුරුපැදියක් නවතා පරීක්ෂා කිරීමේ දී මත්පෙති සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මොවුන් සම්බන්ධව සිදුකරන ලද වැඩිදුර විමර්ශනයේදී මෙම සැකකරුවන් මත්පෙති ජාවාරම් සිදු කරන බවට අනාවරණය වීය.

මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමෙන් පසු එක් සැකකරුවෙකුගේ ඥාතියෙකු පොලිසියට පැමිණ රාජකාරියේ නිරත පොලිස් නිලධාරියෙක් හට එම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් නොකරන ලෙසට යෝජනා කර ඇති අතර පසුව නිලධාරියා එයට ප්‍රතිචාර නොදක්වා සිටිම හේතුවෙන් රුපියල් 5,000ක මුදල් නෝට්ටු කිහිපයක් අදාල නිලධාරියාගේ මේසය මත තබා මුදල් ලබාගෙන සැකකරුන් නිදහස් කරන ලෙසට ඉල්ලීමක් කර ඇත. මෙම තැනැත්තා සැකකරුවන්ට නීත්‍යානුතුලව කටයුතු නොකිරීමට පොලිසියට අල්ලස් ලබාදීමේ වරද මත අත්අඩංගුවට ගෙන ඇත.

මත් පෙති සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙ‍ෙදනා 2024.06.28 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට මහව ගරු මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇති අතර පොලිස් නිලධාරීන්ට අල්ලස් ලබා දීමේ වරද මත අධිකරණය වෙත ඉදිරිපත් කළ පුද්ගලයා රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හැර ඇත.