කොළඹ දකුණ දිසාවේ “සුවසාර කැඳැල්ල” සාර්ථකව නිමාවට පත්වෙයි.

ගල්කිස්ස සහ නුගේගොඩ පොලිස් කොට්ඨාසයන්හි මධ්‍යස්ථාන 15 කදී මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූ පුද්ගලයින් 590 දෙනෙකු දින 14 ක් තුළ “සුවසාර කැදැල්ලේ” පුනරුත්ථාපනයට ලක්කර නැවත ඔවුන්ගේ පවුල් වලට සම්බන්ධ කිරීමේ උත්සවය 2024.06.15 වන අද දින බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී සාර්ථකව නිමාවට පත්විය.

උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගරු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සහභාගි වූ අතර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පිරිසක් මේ සඳහා සහභාගි වූහ.

මෙහිදී ගල්කිස්ස සහ නුගේගොඩ ප්‍රදේශයන්හි පුද්ගලික ආයතන හා ව්‍යාපාරික ප්‍රජාව එක්ව පුනරුත්ථාපන ලාභීන් 120 දෙනෙකු රැකියා අවස්ථා සඳහා තෝරා ගෙන ඔවුන් වෙත පත්වීම් ලිපි ලබාදීම සිදු කරන ලදී.

ඊට අමතරව පුනුරුත්ථාපන මධ්‍යස්ථාන අතර පැවැත්වූ “සුවසාර සුපර් ස්ටාර්” ගායනා තරගයෙන් තෝරා ගන්නා ලද දක්ෂතම තරගකරුවන් 06 දෙනා අතර පවත්වන ලද අවසන් තරගයෙන් පළමු ස්ථානය රොෂාන් චන්ද්‍රරත්න හිමි කර ගත් අතර දෙවන සහ තෙවන ස්ථානයන් පිළිවෙලින් දුමින්ද සම්පත් සහ සනත් ප්‍රනාන්දු විසින් හිමිකර ගන්නා ලදී. ඔවුන් වෙත සහතිකපත් සහ කුසලාන ප්‍රදානය කිරීම මහජන ආරක්ෂක අමාත්‍යතුමා සහ පොලිස්පතිතුමා විසින් සිදු කල අතර තරගයේ විනිශ්චය කටයුතු ප්‍රවීන ගායන ශිල්පිනී චම්පා කල්හාරි මහත්මිය සහ ප්‍රවීන ගායන ශිල්පී රජිව් සෙබස්තියන් මහතා විසින් සිදු කරන ලදී.