“විශිෂ්ට ලෙස රාජකාරි ඉටු කළ පොලිස් නිලධරයන් ඇගයේ “

දිවයිනේ සෑම ප්‍රදේශයකම ආරක්ෂාව තහවුරු කරමින් දවසේ 24 පැය මුළුල්ලේම මහජනතාවගේ ජීවිත හා දේපළ සුරක්ෂිත කිරීමෙහිලා නිරන්තරයෙන්ම කැප වෙන පොලිස් නිලදරුවන්ගේ සේවය අගයා ඔවුන්ට ත්‍යාග හා ප්‍රශංසා පිරිනැමීමේ උත්සවයක් 2024.06.12 දින බත්තරමුල්ල සුහුරුපාය පිහිටි මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.

උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගරු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මැතිතුමා සහභාගි වූ අතර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක්ද මේ සඳහා සහභාගි විය.

මෙහිදී අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ රාජකාරී ඉටු කරන ලද පොලිස් නිලධාරීන්ටත් ශ්‍රී ලංකා පොලිසියට කීර්තියක් අත් කර දෙමින් වසර 33 කට පසු ක්ලිෆර්ඩ් කුසලාන රගර් තරඟයේ ශූරතාවය ජයග්‍රහණය කරන ලද නිලධාරීන් ඇතුළු විශිෂ්ට ලෙස තම රාජකාරීය ඉටු කරන ලද පොලිස් නිලධරයින් 459 දෙනෙකු ත්‍යාග මුදල් ලැබීමට හිමිකම් ලැබූ අතර ඔවුන් සඳහා රුපියල් දෙකෝටි පනස්නව ලක්ෂ තිස්හත් දහස් පන්සීයක (25,937,500/=) මුදලක් පොලිස්පති ත්‍යාග අරමුදලින් අනුමත කර තිබුණි. මෙම උත්සවයේදී සංකේතාත්මකව නිලධරයන් 232 දෙනෙකු සඳහා රුපියල් එක්කෝටි අනූහතර ලක්ෂ හැත්තෑහයදහස් දෙසියපනහක (19,476,250/=) මුදලක් සහ පොලිස්පති ප්‍රශංසා 191 ක් පිරිනැමීම සිදුවිය.

මීට අමතරව අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් නිවැරදි තොරතුරු ලබා දුන් පුද්ගලයන් 16 දෙනෙකු වෙත හා වැලිඔය පොලිස් වසමේ දී කුඩා දරුවෙකුට පහර දීමේ සිදුවීම වීඩියෝගත කර සැකකරු අනාවරණය කර ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු ලබාදුන් තරුණයාට රුපියල් ලක්ෂ පහක (500,000/=) මුදලක් ද මෙහිදී පිරිනැමිණි.