ධීවර බෝට්ටුවක් අනතුරට ලක්වෙයි – දෙදෙනෙක් අතුරුදහන්

හබරාදූව පොලිස් වසමේ උනවටුන, රූමස්සල ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටව ගිය ධීවර බෝට්ටුවක් ඊයේ (2024.06.11) දින රාත්‍රී කාලයේ පෙරලී යාමෙන් එහි සිටි පුද්ගලයින් තිදෙනෙකු අනතුරට ලක්ව ඇති බවට හබරාදූව පොලිසියට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත. ඉන් එක් පුද්ගලයෙකු ප්‍රදේශවාසීන් විසින් බේරා ගෙන ඇති අතර තවත් පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදහන්ව ඇත.

මොවුන් එදින සවස් කාලයේ කුඩා ධීවර බෝට්ටුවකින් උනවටුන රූමස්සල ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා ගිය අවස්ථාවේ මෙම අනතුරට මුහුණපා ඇති බවට අනාවරණය වී ඇත.

අතුරුදහන්වූවන් අවුරුදු 42 හා 56 යන වයස්වල පසුවන ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

අතුරුදහන් වූ අය සොයා පොලිස් නිලධාරීන් හා නාවික හමුදා නිලධාරීන්ගේ සහාය ඇතිව තවදුරටත් මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබන අතර හබරාදූව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.