දකුණු කොරියානු තානාපතිතුමිය පොලිස් මූලස්ථානයට

ශ්‍රී ලංකාවේ දකුණු කොරියා තානාපති මියොන් ලී ( MIyun lee) මැතිණිය 2024.06.06 වන අද දින උදෑසන පොලිස් මූලස්ථානයේදී පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා හමුවී සුහඳ සාකච්ඡාවක නිරත විය.

ශ්‍රී ලංකා පොලිසියේ සේවයේ නියුතු නිලධාරීන් සඳහා විශේෂ පුහුණු වැඩසටහන් ලබාදීමට මෙන්ම අපරාධ විමර්ශනය වැනි විෂය ක්ෂේත්‍රයන්ට අවශ්‍ය තාක්ෂණික සහය ලබාදීමට දකුණු කොරියානු ජනරජය ඉදිරියේදී පියවර ගන්නා බව එහිදී එතුමිය ප්‍රකාශ කළාය.

විදෙස් ගතව සිටිමින් මෙරට අපරාධ හා මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මෙන්ම අත්අඩංගුවට ගන්නා සැකකරුවන් දෙරට අතර හුවමාරුකර ගැනීමේ ක්‍රියාවලිය අවශ්‍ය සහායෝගීතාවය වර්ධනය කර ගැනීම සඳහා මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය.

දකුණු කොරියානු මිත්‍රත්වය බෙහෙවින් අගය කළ පොලිස්පතිතුමන් එරට මෙතෙක් කල් මෙරටට ලබාදී ඇති අනගි අවස්ථාවන් පිලිබඳව ස්තූතිය පළකර සාර්ථකව නිමා වූ මෙම හමුව සිහිගන්වන සමරු සිහිවටනයක්ද තානාපතිතුමියට පිළිගැන්වීය.