කෝටි දෙකහමාරක මැණික් සොරකම CCTV කැමරාවේ

රත්නපුර පොලිස් වසමේ මුද්දූව ප්‍රදේශයේ නිවසක පිරිසිදු කිරීමේ නිරතව සිටි පිරිසක් විසින් එම නිවසේ තිබූ මැණික් ගල් තොගයක් සොරා ගෙන ගොස් ඇති බවට 2024.06.09 දින රත්නපුර පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී ඇත.

මේ සම්බන්ධව විමර්ශන ආරම්භ කල රත්නපුර පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ නිලධාරීන් විසින් එම නිවසේ සවිකර තිබූ සීසීටීවී කැමරා දර්ශන පරීක්ෂා කිරීමේදී මෙම සොරකමට සම්බන්ධ අයවළුන් කවුරුන්ද යන්න හඳුනාගෙන තිබේ.

ඒ අනුව පොලිස් නිලධාරීන් විසින් මෙම සොරකමට සම්බන්ධ අසල නිවසක පදිංචි පිරිමි පුද්ගලයෙක් සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන සිදුකරන ලද ප්‍රශ්න කිරීමේදී ඔවුන්ගේ ප්‍රකාශ මත සොරා ගන්නා ලද විවිධ ප්‍රමාණයෙන් යුත් මැණික් ගල් 266 සොයා ගෙන ඇති අතර සැකකරු සහ සැකකාරිය රත්නපුර ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව 2024.06.14 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. සිද්ධියට සම්බන්ධ මොවුන්ගේ වයස අවුරුදු 10ක් පමණ වන දරුවා ද පරිවාස නිලධාරීන් මඟින් ගරු අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස ගරු මහේස්ත්‍රාත්තුමා විසින් දැනුම් දී ඇත.