ලද තොරතුර නිවැරදියි, මත් ද්‍රව්‍ය බෙදාහැරෙන ජාලය අඩපණ කෙරූ සාර්ථක වැටලීමක්

ශ්‍රී ජයවර්ධනපුර පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් 2024.06.08 වන දින දහවල් පානදුර දකුණ, නල්ලූරුව ප්‍රදේශයේදී රිවෝල්වර අවි සඳහා භාවිතා කරන ජීව පතරොම් 20 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 400 ක් සන්තකයේ තබාගෙන යතුරුපැදියකින් ගමන්ගනිමින් සිටි වයස අවුරුදු 27 ක් වන නල්ලූරුව, පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

තවද, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැකකරන සැකකරු සතුව තිබූ රුපියල් 4,249,900/- ක පමණ මුදලක්, ජංගම දුරකථනයක් හා යතුරුපැදියද නිලධාරීන් භාරයට ගෙන ඇති අතර අනාවරණය වූ තොරතුරු මත සැකකරු සමඟ කුලී නිවසක සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා ආධාර අනුබල දුන් අවුරුදු 34 ක් වන මොරවින්න, පානදුර ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකුද ජංගම දුරකථනයක් සමඟ අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

මෙම සැකකරුවන් දෙදෙනා සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස හඳුන්වන පානදුර කුඩු සලිඳු නැමැත්තාගේ ගෝලයන් දෙදෙනෙකුගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවනු ලබන පුද්ගලයන් බවටත් මොවුන් වෙනත් අපරාධ වලට සම්බන්ධ අයවළුන් බවටත් දැනට සිදු කරන ලද විමර්ශන වලදී අනාවරණය වී ඇති අතර දෙදෙනාම වැඩිදුර විමර්ශන සඳහා පානදුර දකුණ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.