යාය පහේ මහ රෑ කළබගෑනිය,අසල්වාසී එකමුතුවෙන් සැකකරුවන් දැලේ

තඹුත්තේගම, යාය 5 ප්‍රදේශයේ නිවසක් කොල්ලකෑම සඳහා 2024 ජුනි මස 06 වන දින අලුයම පැමිණි කොල්ලකරුවන් දෙදෙනෙකු තඹුත්තේගම පොලිසිය අත්අඩංගුවේ පසුවේ.

පැමිණිලිකාරිය වන නිවසේ බිරිඳගේ ප්‍රකාශයට අනුව කොල්ලකෑම සිදුවන මොහොතේ අදාල නිවසේ සැමියා,බිරඳ,බිරිඳගේ මව සහ පිරිමි දරුවන් දෙදෙනා සිට ඇත.

යමෙකු පැමිණ නිදා සිටි සැමියා අවදි කිරීමට උත්සාහ කරන බව ඇසී බිරිඳද අවදි වී ඇති අතර කොල්ලකරුවන් තමන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යංශයේ නිලධාරීන් යැයි පවසමින් නිවස පරික්ෂා කිරීමක් සිදු කළ යුතු බව පවසා ඔවුනගේ අත් ගැට ගසා තිබේ.

ඉන්පසු අල්මාරියේ තිබූ රන්භාණ්ඩ හා මුදල් රැගෙන අඹු සැමි යුවලද රැගෙන පැමිණිලිකාරියගේ වැඩිමහල් පුත්‍රයා සිටි කාමරයට ගොස් ඇති අතර එහිදී වැඩිමහල් පුත්‍රයා සමඟ ගුටි බැට හුවමාරුවකින් අනතුරුව ඔහුගේ ද අත්ගැට ගසා අඹු සැමි යුවල නැවත රැගෙන බාල පුත්‍රයා නිදාසිටි කාමරයට ගොස් ඇත.

එහිදී ක්ෂණිකව ක්‍රියාත්මක වූ සැමියා බාල පුත්‍රයාද සමඟ කාමරයේ ජනේලයකින් එළියට පැන “හොරු පැනලා” යනුවෙන් කෑ ගසා ඇත.

එවිට කොල්ලකරුවන් දෙදෙනාද පලාගියද, හඩගැසීම ඇසී ගම්වාසීන් 50-60 පමණ දිවවිත් ඇති අතර සොරකමට අදාළ එක් පුද්ගලයෙක් අල්ලා ගැනීමට සමත් වී තිබේ.

එම අවස්ථාවේ 119 පොලිස් හදිසි ඇමතුම් අංකය ඇමතීමටද ඔවුන් කටයුතු කර තිබූ අතර වහාම ක්‍රියාත්මක වූ තඹුත්තේගම පොලිස් නිලධාරීන් පැමිණ අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

එදින උදෑසන සිද්ධියට සම්බන්ධ අනෙත් සැකකරු ද අත්අඩංගුවට ගැනීමට තඹුත්තේගම පොලිස් නිලධාරීන් සමත්ව තිබේ.

සැකකරුවන් අත තිබී සොයා ගත් දේපළ අතර සොරාගත් රු.1,250,000 ක් පමණ වටිනා රන්භාණ්ඩ සහ රු. 450,000 ක මුදල් ප්‍රමාණයක් තිබී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා එක් අයෙකු වයස අවුරුදු 41 ක් වන රෑද්දගොඩ රිදීගම පදිංචි රියදුරු රැකියාවක් කරන අයෙකු වේ. අනෙක් සැකකරු වයස අවුරුදු 39 ක් වන තුන්තොට,වරකාපොළ පදිංචි සූපවේදියෙකු වශයෙන් රැකියාවක් කරන අයෙකි.

මොවුන් ස්කුරුප්පුනියනක් ආධාරයෙන් ජනේලයක් විවෘත කර නිවසට ඇතුලු වී ඇති බව අනාවරණය වී ඇති අතර ඉදිරි විමර්ශන සහ සැකකරුවන් සම්බන්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම තඹුත්තේගම පොලිසිය විසින් සිදුකරයි.