අවාසනාවන්ත සිදුවීමක් මාගම්පුරින්,සැකකාර සිසුවා එදිනම අත්අඩංගුවට

හම්බන්තොට බැද්දෙවෙල පාර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 15 ක් වූ පාසල් සිසුවෙකු තවත් සිසුවෙකුගේ පහරදීමක් හේතුවෙන් හම්බන්තොට රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුලත්කර සිටියදී මියගොස් ඇත.

2024.06.05 වන දින මෙම සිසුවා හම්බන්තොට සිප්පිකුලම ප්‍රදේශයේ පැවැත්වෙන අමතර පංතියකට සහභාගී වීම සඳහා නිවසින් පිටත්ව ගොස් ඇති අතර අමතර පංතිය පැවැත්වෙන අතරතුර ගුරුවරයා පෞද්ගලික අවශ්‍යතාවයක් සඳහා පංතියෙන් පිටතට පැමිණි අවස්ථාවක මෙම සිසුවාද පංතියෙන් පිටතට පැමිණ ඇත.

එම අවස්ථාවේදී එම ප්‍රදේශයේම තවත් පාසලක ඉගෙනුම සිසුවෙක් ත්‍රී රෝද රථයකින් පංතිකාමරය අසලට පැමිණ පංතිකාමරයෙන් පිටතට පැමිණි සිසුවා හමුවී පහරදී ඇති බවට තොරතුරු අනාවරණය විය.

පහරදීමෙන් ඇද වැටුනු සිසුවා එම ස්ථානයේ සිටි අයෙකු විසින් යුතුරු පැදියක නංවාගෙන හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර ඇති අතර හදිසි ප්‍රතිකාර ඒකකයේදී සිසුවා මියගොස් තිබේ.

සැකකාර වයස අවුරුදු 17ක් වු පාසල් සිසුවා එදිනම සවස හම්බන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

හම්බන්තොට පොලිස් ස්ථානය විසින් මේ සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදුකරමින් ඉදිරි ක්‍රියාමර්ග ගනිමින් පවතී.