මහජනතාව අපහසුතාවයට පත්කර පොල්දූව මංසන්ධියේ උද්ඝෝෂණ පැවැත්වුවහොත්, විසුරුවා හැරීමට අවසර

විරෝධතාකරුවන් පිරිසක් විසින් 2024.06.03 වන දින සිට 2024.06.06 වන දින දක්වා වැලිකඩ පොලිස් වසමේ පොල්දූව වටරවුම ආශ්‍රිතව විරෝධතා ව්‍යාපාරයක් හා සත්‍යග්‍රහයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවට ලද තොරතුරක් මත අපරාධ නඩු විධාන සංග්‍රහයේ පවතින නීති ප්‍රතිපාදන ප්‍රකාරව එම පරිශ්‍රයේ ප්‍රචණ්ඩකාරී හා කලහකාරි ක්‍රියාවන් වැළැක්වීමේ ආඥාවක් නිකුත් කරන ලෙසට වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා විසින් කොළඹ ගරු ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත.

ඉදිරිපත් කර ඇති කරුණු සලකා බලා ගරු අධිකරණය මගින් හදුනාගත් පුද්ගලයින් තිදෙනෙකු ඇතුලු ඇතුළු විරෝධතාවයන් සඳහා සහභාගී වන වෙනත් තැනැත්තන්ට 2024.06.03 වන දින සිට 2024.06.06 වන දින දක්වා එම පරිශ්‍රයේ මාර්ගයන් හරස් කර විරෝධතා හෝ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකිරීම, මාර්ගය දෙපස කිසිදු ඉදිකිරීමක් සිදුකිරීම, මහජන නියෝජිතයින්ගේ පාර්ලිමේන්තු වරප්‍රසාදයන් උල්ලංඝණය වන අයුරින් සහ රාජකාරි යෙදී සිටින රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරි සඳහා කිසිඳු බාධාවක් වන අයුරින් උද්ඝෝෂණ කිරීම තහනම් කරන ලදී.

එම තහනම් නියෝග ප්‍රකාරව පොල්දූව වටරවුම ආශ්‍රිතව පවත්වන එවැනි උද්ඝෝෂණ නොපමාව විසුරුවා හැරිය යුතු බව සඳහන් කරමින් අධිකරණය විසින් පොලිසිය වෙත ආඥාවක් නිකුත් කර ඇත.