මුදල් වංචා සම්බන්ධව මාතර කොට්ඨාසයට පැමිණිලි රැසක්

විදේශ රැකියා සඳහා මෙන්ම විදේශ අධ්‍යාපන ආයතනයන්ගෙන් අධ්‍යාපනය හැදෑරීම සඳහා යොමුකරන බවට හඟවා මුදල් වංචා කරමින් විශ්වාසය කඩකිරීමේ සිදුවීම් පිළිබඳව මාතර කොට්ඨාසයේ පොලිස් ස්ථාන වෙත පැමිණිලි රැසක් ලැබී තිබේ.

ශ්‍රී ලංකා පොලිසිය විසින් හා සමාජයේ විවිධ වගකිව යුතු පාර්ශවයන් කෙතරම් දැනුවත් කිරීම් සිදුකලද එසේ රැවටීමට ලක්වුනු අයවළුන්ගෙන් ලැබෙන පැමිණිලි ප්‍රමාණය දිනෙන් දින ඉහල යන ස්වරූපයක් පවතී.

ලැබෙන පැමිණිලි බහුතරයක විමර්ශන ආරම්භ කිරීම ප්‍රශ්නසහගත වීමට ප්‍රධානතම හේතුව නම් අගතියට පත් පාර්ශවයන් සතුව කිසිදු ලිඛිත සාක්ෂියක්, අගතියට පත්කල පාර්ශව පිළිබඳව නිශ්චිත තොරතුරක් නොමැතිවීමයි.

එමනිසා රජයේ ආයතනයන් පිළිබඳව හෝ රජයේ නිසි නියාමනයකට යටත්ව ප්‍රශස්ත විනිවිද භාවයකින් පවත්වාගෙන යන පෞද්ගලික ආයතනයන් පිළිබඳව නිසි සොයාබෑලීමක් සිදුකර එම ආයතනයන්ගෙන් ඔබගේ අවශ්‍යතාවය ඉටුකරගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.