විදෙස්ගතව සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවූ තවත් සැකකරුවෙකු අද ශ්‍රී ලංකා පොලිසිය භාරයට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නම් සැකකරු අත්අඩංගුවෙන් මුදවාගැනීම සඳහාද සැලසුම් සකස් කල බවට තොරතුරු ලැබී ඇති රුවන් ජයසේකර නොහොත් මිදිගම රුවන් නම් තැනැත්තා පිළිබඳව ශ්‍රී ලංකා පොලිසිය ලබාදුන් තොරතුරු මත ජාත්‍යන්තර පොලිසිය විසින් ඔහුට විරුද්ධව රතු වරෙන්තු නිකුත්කර තිබුනි.

ඒ අනුව සැකකරු ඩුබායි රාජ්‍යයේ රාත්‍රී සමාජ ශාලාවකට ගොස් කාමරයක් වෙන්කර ගැනීමේ දී ජාත්‍යන්තර පොලිසිය මඟින් රතු වරෙන්තු නිකුත් කර ඇති අයෙක් බවට අනාවරණය වීමෙන් ඩුබායි පොලිසිය ඔහුව පසුගිය දා අත්අඩංගුවට ගන්නා ලදී.

නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නම් පුද්ගලයා අත්අඩංගුවට පත්වීමෙන් පසු එම මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවූ අයෙකු ලෙසද මිදිගම රුවන් තැනැත්තා පිළිබඳව ශ්‍රී ලංකා පොලිසියට තොරතුරු අනාවරණය විය.

මේ වනවිට සැකකරු වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරයේ පසුවේ.