සොරකම්කළ යතුරුපැදි ලබාදී මත්ද්‍රව්‍ය ලබාගත් සැකකරුවන්

2024.05.10 වන දින මිනුවන්ගොඩ පොලිස් වසමේදී සිදුවූ යතුරු පැදි සොරකමක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකල මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරින් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5 මිලිග්‍රෑම් 200 ක් සමඟ උඩුගම්පල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකර තිබේ.

‍එහිදී මෙම සොරකමට සම්බන්ධ වයස අවුරුදු 31 ක් වූ උඩුගම්පල ප්‍රදේශයේ පදිංචි ප්‍රධාන සැකකරුවෙකු පිළිබඳව අනාවරණය වී ඇති අතර ඔහුවද සොරකම් කරන ලද ව්‍යාජ අංක තහඩු සවිකරන ලද යතුරු පැදියක් සමඟ අත්අඩංගුවට ගැනීමට මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් සමත්ව ඇත. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ එම සැකකරු සන්තකයේද අයිස් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 400 ක් තිබී පොලිස් නිලධාරීන්ට හමුවී ඇත.

සැකකරුවන් දෙදෙනා රඳවාගෙන සිදුකල වැඩිදුර ප්‍රශ්න කිරීම් මගින් ඔවුන් විසින් මිනුවන්ගොඩ, වැලිවේරිය, කටුනායක, ගම්පහ, කටාන ඇතුළු පොලිස් වසම් කිහිපකින් සොරකම් කරන ලද යතුරු පැදි 11 ක් සොයාගැනීමට මිනුවන්ගොඩ පොලිස් නිලධාරීන් සමත්ව තිබේ.

සැකකරුවන් විසින් යක්කල පොලිස් වසමේදී සොරකම් කරන ලද යතුරු පැදියක් වෙනත් අපරාධයක් සම්බන්ධව මීට පෙර අත්අඩංගුවට ගෙන ඇති අතර, ජා ඇල පොලිස් වසමෙන් සොරකම් කරන ලද යතුරු පැදියක් කළුතර අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බවට අනාවරණය විය.

සොරකම් කරන ලද තවත් යතුරුපැදි 04 ක් පිළිබඳවද තොරතුරු අනාවරණය වී ඇත.

මිනුවන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.